දහඅට මායම෴
එක්තරා අනපේක්ෂිත මොහොතක, එක්තරා මහත්මයෙකුගේ අලුත්ම කිරි කිරි වාහනය නෝනා මහත්මියකගේ වාහනයත් එක්ක මූනට මූන හැප්පිලා චප්ප චොරොස් වුනා. ගන්න දෙයක් නෑ වාහන දෙකම, දහ අතේ අබලං. ඒත් පූරුවේ මොන පිනක් හරි තිබිලා දෙන්න දෙමහල්ලෝ නම් තුවාලයක් සීරුමක් නැතුව බේරැනා.
කොහොමහරි දනිස් දෙකට පණ දීලා බඩගාගෙන වාහන වලින් දෙන්නත් එක්කම එලියට ආවාට පස්සේ නෝනා මෙහෙම කිව්වා. “ඔන්න ඉතිං ඒකෙත් හැටි. ඔයා පිරිමියෙක්. මම ගෑනියෙක්. අපි දෙන්නා ආපු වාහන දෙක සම්බෝල නාලු වෙන්නම හැප්පුනා. ඒත් පෙර පිනක් පඩිසන් දීලා අපි දෙන්නා බේරුනා. මට හිතෙන්නේ මේ අපේ දෛවය මෙයා. මේක සුභ නිමිත්තක්. අපි දෙන්නා යම් හාස්කමකට මුන ගැහුනේ අපි අතර සම්බන්ධයක් ගොඩනගාගෙන ජීවිතේ පුරාවට එකට ගතකරන්න වෙන්න ඇති අනේ“
පැනි වදන් කන් දෙපැත්තෙන් රූරා වැටෙද්දි, මහත්තයාටත් හැමදේම අමතක වුනා. “අපොයි ඔව්. මටත් ඕකම හිතුනා. මේකට තමයි දෛවය කියන්නේ.“
“අනික මේ බලන්නකෝ“. නෝනා කිව්වා. “තවත් ප්‍රාතිහාර්යයක්. මගේ කාර් එකට මෙච්චර සංතෑසියක් වෙලත් මේ විස්කි බෝතලේට මොනම හෙන ගෙඩියක්වත් නෑ. අපේ දෛවය මේ කියන්නේ අපි පණ බේරගත්ත සතුටට මේක හිස් කරන්න කියන එකයි“. එහෙම කියලා අපේ නෝනා, දෝතින්ම පිදුවා විස්කි බෝතලේ මහත්තයාට.
නිළියයි නළුවයි දෙපැත්තෙන් දුවගෙන එද්දි, කොහේදෝ ඉදලා සිංදු ඇහෙන හිංදි චිත්‍රපටි දර්ශනයක් වගේ මේ “දෛවය“ ජවනිකාව මහත්තයාට සෑහෙන්න වැදිලා. ගත්තු ගමන් විස්කි බෝතලේ භාගයක් ගුඩු ගුඩු ගාලා හිස් කරපු එතුමා, ඉතිරිය ආපහු නෝනාට දිගුකලා.
බෝතලේ අතට අරං, මූඩිය තදකරලා වහපු නෝනා ඒක ආපහු දුන්නා මහත්තයා අතට.
“ඇයි සුදෝ, ඔයා ජුංජක්වත් ගන්නේ නැද්ද?“ මහත්තයා පුදුමයෙන් වගේ ඇහුවා.
“ගන්නවා. පොලිසියෙන් මෙතනට ඇවිත් ගියාට පස්සේ“. නෝනා කියාපි.
Comments
Post a Comment