වසර 110ක් සපිරෙන දිවුලපිටිය බලගල්ල සරස්වතී මහපිරිවෙන.

බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයකි. 1897 පෙබරවාරි 07 වන දින මහෝපාධ්‍යාය මඩගමුවේ සිරිනාවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට බලගල්ලේ ජයකොඩි පරම්පරාව විසින් මෙම විහාරස්ථානය සඟ සතු කොට පූජා කරන ලදී.  බලගල්ල සරස්වතී මහ පිරිවෙන ශත සංවත්සරය දා නිකුත් කළ මුද්දරය 1903 මාර්තු 7 වන දින සරස්වතී මහ පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණි. වාගීස්වර පඩිතුමා මෙහි පරිවේණාධිපති ලෙස ආරම්භයේ දී කටයුතු කළ අතර මඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 1907 ජනවාරි 01 දින සිට 1955 දක්වා එහි පරිවේණාධිපති ධුරය දරමින් වැඩ සිටියහ. හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පරිවේණාධිපතිත්වය යටතේ අධ්‍යාපනය මෙන්ම පිරිවෙනේ ධර්ම ශාලාවල විහාර මන්දිරය, සුවිශේෂ වූ දෙමහල් පුස්තකාලය, පිරිවෙන් ශාලාව ආදී සියලු ම භෞතික සම්පත්වල මනා සංවර්ධනයක් ශීඝ්‍රයෙන් ගොඩනැෙඟන්නට විය. 1919 වර්ෂයේ දී ලංකා ආණ්ඩුවේ ආධාර ලබන පිරිවෙනක් ලෙස ලියාපදිංචි කරන ලදී. ප්‍රාචීන භාෂා සාහිත්‍යයට අමිල සේවයක් සිදුකොට ඇති අපේ පිරිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයේ ව්‍යාප්තිය උදෙසා මහත් සේවයක් සිදු කළ ප්‍රධාන ම පෙළේ පිරිවෙනෙකි. සරස්වතී මහ පිරිවෙන කේන්ද්‍රකොට එහි ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයෙහි හසල දැනුමක් ලත් පැවිදි පඬිවරු ඒ ඒ ප්‍රදේශ වල පිරිවෙන් ශාඛා, ප්‍රශාඛා බිහි කළහ. රත්නපුරේ හා බුළුගහපිටියේ සුමන පිරිවෙන, නැදලගමුවේ හා කනදුල්ලේ ධර්මරාජ පිරිවෙන, ඉඟිනියාගල විද්‍යාසාගර පිරිවෙන, පොත්තේවෙල ජිනරාජ පිරිවෙන, බණ්ඩාරබටවල විද්‍යාකර පිරිවෙන, කුරුණෑගල බෞද්ධාලෝක ආදී පිරිවෙන් ඒ අතර කැපී පෙනේ. රන් පදක්කම් ලාභී ප්‍රාචීන පඬිවරුන් බිහි කර ඇති මෙම ආයතනය තුළ සිංහල - දෙමළ ගිහි පැවිදි සිසුන් සිවු දිසාවෙන් පැමිණි අධ්‍යාපනය ලද කීර්තිමත් ආයතනයක් මෙන් ම එය විදෙස් භික්ෂූන්ට ද අධ්‍යාපනයට තෝතැන්නකි. හපුවලානේ ඤාණාලෝක, හේන්පිටගෙදර ඤාණසීහ, හේන්පිටගෙදර ඤාණාවාස, හිස්සැල්ලේ සුමංගල, හිස්සැල්ලේ ධම්මරතන, පොත්තතේවෙල පඤ්ඤාසාර, හේන්පිටගෙදර ඥානතිලක, හිස්සැල්ලේ මේධානන්ද, ආචාර්ය යටගම ධම්මපාල යන නායක ස්වාමින්වහන්සේලා වැනි කීර්තිමත් ග්‍රන්ථ කර්තෘවරු, ප්‍රාචීන භාෂා විශාරදයන්, විශේෂයෙන් දෙමළ බසෙහි හසල බුද්ධිමතුන් බිහි වූ ආයතනයකි. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ඒ. සින්නතම්බි මැතිතුමා වැනි දෙමළ පඬිවරු, බැස්ටියන් රණවීර, වී. මලල්ගොඩ වැනි සුප්‍රසිද්ධ කවිවරු මෙහි ශිෂ්‍යයෝය. පිරිවෙන් අධ්‍යක්‍ෂ ඉදුරාගාරේ ධම්මපාල හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය පොල්ලමුරේ සෝරත හිමි, මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ, මහාචාර්ය ජිනදාස දනංසූරිය වැනි විද්වත්හු මෙහි ආදි ශිෂ්‍යයෝ ය. විශේෂයෙන් සම්මා සම්බුද්ධ ශාසනයටත් සිංහල - දෙමළ සාහිත්‍යයටත් මහා මෙහෙවරක් ඉටුකර ඇති මෙම ආයතනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමින්වහන්සේලා දෙනමක් වූ හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පොත්තේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද, එසේම අධිකරණ නායක ස්වාමින් වහන්සේලා දෙනමක් වූ හේන්පිටගෙදර ඤාණසීහ, හේන්පිටගෙදර ඤාණාවාස නායක ස්වාමින් වහන්සේලා ද, අනුනායක ස්වාමින්වහන්සේලා තෙනමක් වූ ආචාර්ය යටගම ධම්මපාල, මඩිතියවල විජිතසේන, මඩිතියවල මේධංකර යන ස්වාමින් වහන්සේලා ද බිහි වූහ. වර්තමානයේ විහාරාධිපති හපුවලානේ සරණංකර මහෝපාධ්‍යාය ස්වාමින්වහන්සේ වන අතර, පරිවේණාධිපති පහලගම ධම්මික ස්වාමින්වහන්සේය. මේ වන විට දහස් ගණන් ගිහි පැවිදි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබා දෙස් විදෙස්වල ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදුකර ඇති අතර අද ද එම සේවය අඛණ්ඩව සිදුකරමින් ක්‍රියා කරති. බලගල්ලේ සරස්වතී මහ පිරිවෙනට වර්ෂ 110ක් සම්පූර්ණ වීම නිමිති කර මාර්තු 07 සිට 10 දක්වා ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද බෝධි පූජා හා සංඝගත දක්‍ෂිණාමය පිංකම් මාලාවක් ද පැවැත්වේ.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴