වෙළදපලට ආ අළුත්ම වඳ බේත෴
ශතාහ්වා, පීතිකා, මාධවී, අතිඡත්‍රා, කාරවී ආදී සංස්කෘත පර්යායන්ගෙන් හදුන්වන සතකුප්ප Apiaceae පවුලට අයත් කුඩා පැළෑටියකි. අලංකාර කහ පැහැති මල් සහිත ඡත්‍රාකාර පුෂ්ප මංජරියක් දරන මෙහි ඔසු පිණිස වඩාත් බහුලව භාවිත වන්නේ බීජ වුවත් පත්‍ර හා සමස්ථ ක්ෂූපයම ඖෂධීය ගුණ යුක්ත ය. කුළු බඩුවක් ලෙසත් ආහාර රසකාරක හා රුචිකාරක ද්‍රව්‍යයක් ලෙසත් බොහෝ විට සතකුප්ප පෙර‘පර දෙදිගම භාවිතා වේ.
රසයෙන් කටු හා තික්ත ද ගුණයෙන් ස්නිග්ධ ද වීර්යයෙන් උෂ්ණ ද විපාකයෙන් කටු ද වන නිසා වාතයත් කඵත් ශමනය කිරීමට සමත් ය. එසේම අධි මාත්‍රාව පිත්ත වෘද්ධිකරයි. චරක සංහිතාවේ සතකුප්ප විශේෂිතව දක්වන්නේ ආස්ථාපනෝපග හා අනුවාසනෝපග ගණයන්හී වස්ති සදහා ප්‍රයෝජ්‍ය ද්‍රව්‍යයක් ලෙසයි. වස්ති මගින් වාත දෝෂය ශමනය කරන අතර ශතපුෂ්පා ද වාත ශාමක හෙයින් ඒ කෙරෙහි වඩාත් උපයුක්තතාවය වනු ඇත.
ආයුර්වේදීය ග්‍රන්ථ තුළ මෙහි භාවිතාවන් සදහන් වන අතර භාවප්‍රකාශයේ හරීතක්‍යාදී වර්ගයේත්, ධන්වන්තරී නිඝණ්ඨුවෙහි ශතපුෂ්පාදි වර්ගයේත්, කෛයදේව නිඝණ්ඨුවේ ඕෂධීය වර්ගයේත්, රාජ නිඝණ්ඨුවේ ශතාහ්වාදී වර්ගයේත්, දක්වා ඇති චිකිත්සීය භාවිතයන් පහත පරිදි ය.
1. ජ්වර (උණ)
2. නේතව්‍රණ (ඇස් ආශ්‍රිත තුවාල)
3. අක්ෂි රෝග
4. පිපාස
5. ව්‍රණ (තුවාල)
6. වමන
මීට අමතරව මෙහි විශේෂිත ගුණ ලෙස
1. ශූලහර - වේදනා නාශක
2. දීපන - කුසගිනි වඩන
3. ගර්භ සංකෝචක
4. මේධ්‍ය - බුද්ධි වර්ධක ආදිය දක්වයි.
මීට අමතරව රුධිර පීඩනය පාලනය කිරීමේත් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේත් හැකියාව ද සතකුප්ප සතු ය. කිරි දෙන මවු වරුන්ගේ ක්ෂීර වෘද්ධිය සදහාත් ආර්තවාභාවයෙන් පසු ඇති වන පශ්චාත් සංකූලතා වළක්වා ගැනීම සදහාත් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම සදහාත් නිද්‍රාල්පතාවයට සහනයක් උදෙසාත් සතකුප්ප භාවිත කළ හැකි ය.
මේ ගුණ මෙසේ වෙතත් වර්තමානයේ සතකුප්ප වලට සමාජය තුළ හිමි වන්නේ සාධනීය ස්ථානයක් නොවේ. ඊට හේතුව සතකුප්ප කූට ලෙස කාන්තාවන් වන්ධ්‍යාකරණය කිරීම සදහා භාවිතා කෙරෙන ද්‍රව්‍යයක් ලෙස සමාජ ගත වීම හා ඇතැම් විට එකී අරමුණින් විවිධ කණ්ඩායම් භාවිතා කිරීම යි. මෙලෙස සතකුප්ප කෙරෙහි අවධානය යොමු වන්නේ ද සතකුප්ප බහුල ලෙස කාන්තා රෝග සදහා යෙදෙන බැවිනි. ආර්තවය පමා වීම, වේදනාධික ආර්තවය (කෂ්ඨාර්තවය), අත්‍යාධික ප්‍රසව වේදනා ආදී අවස්ථාවන්හී සතකුප්ප ඉතා හොද ප්‍රතිඵල දායක ඔසුවක් නිසා වෛද්‍යවරු නිසි අවස්ථාවේදී අතිරේක ද්‍රව්‍ය සමග සම්මිශ්‍රව හෝ ඒකීයව උපයුක්ත මාත්‍රාවෙන් එය ප්‍රයෝග කරති. එසේම මද සරු භාවය සදහා ද ඒ ආකාරයෙන් ම මෙම ඖෂධය යොදනු ලබයි. එසේ නම් මෙහි ගැටළුව ඇත්තේ කොතැනක ද?
ගැටළුව නම් සතකුප්ප සතු ගර්භ සංකෝචක තාවයයි. ගර්භසංකෝචකතාවය නිසා වන්ධ්‍යත්වයක් ඇති විය හැකි ද? නැත. ගර්භාශ බිත්තියෙහි සංකෝචන සිදු වූවා යැයි වන්ධ්‍යත්වයක් ඇති නොවේ. නමුත් පිළිසිදගත් මවක විසින් සතකුප්ප භාවිත කළහොත් මෙම ගර්භාශ සංකෝචනය සැබැවින්ම ගැටළුවකි. එම සංකෝචනයන් නිසා කළලය විනාශ වී ගබ්සා වීම් ඇති වීම සිදු වේ. එබැවින් ගර්භණී කාන්තාවන් සතකුප්ප හැරලිය යුතු ය.
සතකුප්ප ද ඖෂධීය තේ පානයක් ලෙස භාවිත කළ හැකි අතර රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම ඉන් යාමනය වනු ඇත. එසේම සතකුප්ප, සුදු හදුන් හා සුවද කොට්ටං ගිතෙලින් අඹරා පැලැස්තර යෙදීමෙන් හිසරදයත් පේශීන්ගේ ඇති වන වේදනාවනුත් සමනය වේ. ආතරයිටිස් අවස්ථාවන්හී ද සන්ධීන්ගේ ඇති වන වේදනාවන් සදහා සමස්ථ පැළෑටිය ඇල් දියෙන් අඹරා සන්ධි මත පැලැස්තර යෙදිය ද හැක. මුඛ දුර්ගන්ධය සදහා සතකුප්ප බීජ කිහිපයක් හැපීමෙන් දුගද නැසී යනු ඇත.
Comments
Post a Comment