අතීතයෙන් ආරක්ෂා කරදුන් රංගිරි දඹුලු ලෙන් විහාරය.
ලෝක උරුමයක් වන රංගිරි දඹුල්ල ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව 104-76 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ රජ කළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ විකාශයන් මෙම විහාරය තුළින් පිළිඹිබු වන අතර, විවිධ වකවානු තුළදී ප්‍රතිසංස්කරණයන් වලටද ලක්ව ඇත.
පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු දඹුල්ල ලෙන් විහාරයේ පිළිම රනින් ආලේප කිරීම හේතුවෙන් රංගිරි දඹුල්ල ලෙස හඳුන්වන්නට පටන්ගත් අතර, මෙම ලෙන් තුළ අනුරාධපුර යුගයේ සිට මහනුවර දක්වා වූ කලාවේ විකාශයක් දක්නට ලැබේ.
පෞරාණික උරුමයක් වන දඹුල්ලට මේ වන විට උරුමකරුවන් බොහොමයක් සිටී. රංගිරි දඹුල්ල විහාරයේ විහාරාධිපතීත්වය අස්ගිරි මහා විහාරයෙන් පත්කරන අතර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් භාරකාර හිමියන් පත්කරනු ලබයි.
විහාරයේ තේවාව පහළ විහාරස්ථාන හතරෙන් සිදුකරන අතර, පුරාවිද්‍යා පනතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද එහි අයිතියක් ඇත. රංගිරි දඹුල්ල ලෝක උරුමයක් වන නිසාම මධ්‍යම සංස්කෘතික අරමුදලටද මේ සඳහා හිමිකමක් ඇති අතර, මේ සියල්ලෝම අයිතිවාසිකම් කියනු වෙනුවට දඹුල්ල රැකගැනීමට එක්විය යුතු කාලයක් බවට පත්ව තිබේ.
රංගිරි දඹුල්ල රජ මහා විහාරයේ කටයුතු සහ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව එහි විහාරාධිපති අස්ගිරිකාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියන් සමග සාකච්ඡා කළෙමු.
Q දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතුවල පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් කතා කළොත්?
රංගිරි දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු පිළිබඳව ගැටලු මතුවී තිබෙනවා. රංගිරි දඹුලු රජ මහා විහාරය සම්බන්ධයෙන් පසුගිය දවසක ස්ථාන පරීක්ෂාවක් සිදුකළා. එහිදී ලෙන් විහාර තුළ පිළිම සහ බිතුසිතුවම් පිළිබඳ සොයා බැලුවා. එම ස්ථාන සංස්කරණය කළයුතු තත්ත්වයේ පවතින බවත්, එම පිළිම සහ චිත්‍ර දුර්වර්ණ වී ඇති බවත් දුටුවා.
ඇතැම් ස්ථාන තුළ ජලය කාන්දු වීමෙන් චිත්‍ර විනාශ වන තත්ත්වයට පත්ව තිබෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් අදාළ සියලු අංශ සමග මම සාකච්ඡා කළා. එහිදී තීරණය කරගත්තා දඹුළු ලෙන් විහාරය තුළ සංස්කරණය කළයුතු සියල්ල සංස්කරණය කිරීමට. ඒ වගේම දඹුල්ල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් පැවසුවා ඔවුන් වසර ගණනාවක් පුරාවට මෙහි සංස්කරණ කටයුතු සකස් කළත්, 1996 පසුව දඹුල්ල විහාරභූමියට ඇතුල් වීමට හිටපු පැවිදි පාලන අධිකාරිය ඉඩ ලබානුදුන් බව.
ඒ වගේම ඔවුන් ඒ වනවිට රුපියල් කෝටි 50ක පමණ භෞතික සංවර්ධන කටයුතු සිදුකළ බවද පැවසුවා. තවද 1996 සිට 2016 වනතුරුම දඹුල්ලට පැමිණි විදේශීය සංචාරකයන් සඳහා රුපියල් 1500ට ප්‍ර‘වේශපත්‍ර නිකුත් කිරීම සිදුකර ඇත්තේ තුන්වැනි පාර්ශ්වයක් විසින් බව මෙහිදී අනාවරණය වුණා.
දිනකට මහනුවරට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් සියයට අසූවක් පමණ දඹුල්ල නැරඹීමට පැමිණෙනවා. ඒ අනුව ඒ සංචාරකයන්ට ප්‍ර‘වේශපත්‍ර අලෙවිකර දෛනිකව ලැබෙන මුදල ලක්ෂ 10-15ක් අතර වන බවත් මෙහිදී අනාවරණය වුණා.
මෙම සියලු කාරණා සම්බන්ධයෙන් මම දැනුවත් වූයේ එවිටයි. මේ නිසාම 1996 සිට 2016 දක්වා සංචාරකයන්ට ප්‍ර‘වේශපත්‍ර අලෙවි කිරීම තුළින් ලබාගත් මුදල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලමින් මම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
Q අදාළ සංරක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ කවදාද?
දඹුල්ල පුදබිම සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් කරගෙන යනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේද දායකත්වය ඇතිවයි මෙහි කටයුතු සිදුකරන්නේ.
ඒ අතර ඉතාලිය, ජපානය වැනි රටවල චිත්‍ර සංරක්ෂණය කිරීමට හැකි විශේෂඥයන් මෙරටට ගෙන්වා ඒ හරහා ඉතා කෙටි කාලයක් තුළ දඹුලු විහාරයේ චිත්‍ර සංරක්ෂණ කටයුතු සිදුකර අවසන් කරමු කියන තීරණයකට අධ්‍යාපන ඇමතිතුමා ප්‍රමුඛ බලධාරීන් පැමිණ සිටිනවා. එය සතුටට කරුණක්. ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සහ අධ්‍යාපන ඇමතිතුමාගේ මැදිහත්වීම මත මෙම චිත්‍ර ඉතා ඉක්මණින් සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඓතිහාසික දඹුලු ලෙන් විහාරය තුළට ගමන් කිරීමට තිබුණු පෞරාණික මාර්ග කිසිදු නඩත්තුවකින් තොරව වසා දමා තිබෙනවා. මේ සියල්ලම එළිපෙහෙළි කර සංරක්ෂණය කර එමගින් ජනතාවට නැවත එම මාර්ග විවෘත්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම දඹුල්ල විහාරයේ අනන්‍යතාවය ලෝකයට පෙන්වීමට ලංකාවේ ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පරිදි මේ මාර්ග වාහල්කඩක් සහිතව සකස් කිරීමට කටයුතු කරගෙන යනවා.
ඒ සඳහා වන සැලසුම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තම්න්තුවේ මගපෙන්වීම අනුව සිදුකෙරෙනවා.
Q සංරක්ෂණය කරන අතරතුර දඹුලු ලෙන් විහාරය ජනතාවට විවෘත කරනවාද? වසා තබනවාද?
දැනට සිදුකරන්නේ එහි මූලික සංරක්ෂණ කටයුතු. ඒ නිසා දෙස් විදෙස් සියලුම නරඹන්නන්ට ලෙන් විහාරය විවෘතකර තිබෙනවා. ඔවුන්ට රජ මාවත ඔස්සේ විහාරස්ථානයට ඇතුල් වීමට පුළුවන්.
විදෙස් ශිල්පීන්ගේද සහය ඇතිව සංරක්ෂණ කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට අපි අදහස් කරගෙන තිබෙනවා. ඒ වගේම වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී අදාළ සියලු සංරක්ෂණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ සියලු අංශ වෙත මම දැනුම් දී තිබෙනවා. මම හිතනවා ඔවුන් වැඩි කල් නොයවා මේ කටයුතු ආරම්භ කරාවි කියා.
කොහොම උනත් නැවතත් මම අදාළ අමාත්‍යතුමාගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා ලෝක උරුම පූජනීය ස්ථානයක් වන දඹුල්ල පුද බිම රැකගැනීමේ කටයුතු කඩිනම් කරන්න කියා.
ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ වෙනුවෙන් යොමු වී තිබෙනවා. ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැදිහත් වන බව ජනාධිපතිතුමා මට පෞද්ගලිකවම දැනුම් දුන්නා.
දඹුල්ල නේවාසික භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් තේවා කටයුතු සහ පූජාව සිදුකරනවා. මේ සඳහා මම ඒ භික්ෂූන් වහන්සේලාට උපදෙස් ලබාදුන්නා. භික්ෂූන් වහන්සේලාගෙන් ඉටු විය යුතු කටයුතු සියල්ලම පාහේ මේ වන විට ඉටුවෙනවා.
Q පසුගිය කාලය පුරාවට දඹුල්ල පූජා භූමියේ සිදුවූ අක්‍රමිකතාවන්ට භික්ෂු අධිකාරිය ලෙස ඔබ වහන්සේලා ගන්නා පියවර කෙබඳුද?
දඹුලු රජමහා විහාරයේ කලින් හිටපු භාරකාර භික්ෂූන් වහන්සේලා වෙනුවට අලුත් පිරිසක් පත්කර තිබෙනවා. ඒ නිසා මේ වනවිට කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම පසුගිය කාලයේ දඹුල්ල ලෙන් විහාර සමීක්ෂණයට පැමිණි පුද්ගලයන්ට ගහල එලවා ගත්තා කියලා පසුගියදා පැවති සාකච්ඡාවකදී කිව්වා. මෙවැනි කාරණා බොහොම කණගාටුවට කරුණු. එවැනි සිදුවීම් යළි නොවන්න කටයුතු කළ යුතුයි. මොකද මේ විහාරස්ථානය අපි කාගේත් සහයෝගය ඇතිවයි ආරක්ෂා කරගත යුතු වන්නේ.
මොකද මම විහාරාධිපති ස්වාමීන් වහන්සේ වුවත් සංරක්ෂණ කටයුතු සම්බන්ධ ශිල්පීය ඥානය මට නැහැ. ඒ ඥාණය තිබෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට. ඔවුන් සමග එම කටයුතු සිදුකර ගැනීමට මම එකඟ විය යුතුයි.
ස්ථානය ආරක්ෂාකර ගැනීමට නම් විශේෂඥයන්ගේ සහය ලබාගැනීමට මම දැනගත යුතු වෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් මේ වන විට පත්කර තිබෙනවා. විහාරාධිපති හිමියන් හැටියට මගේ ආකල්පය එයයි.
මොකද මහා විහාරයේ රංගිරි දඹුලු විහාරාධිපතිකම මට ලබාදුන්නාට අනිත් අයගේ සහයෝගය සහිතව එය කරගෙන යන්නට මම දැනගත යුතු වෙනවා. ඒ නිසා දඹුලු විහාරය රැකගැනීමට භාරකාර භික්ෂූන් වහන්සේලාගේ, තේවාව භාර භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය මම අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ආදී වගකීම් පැවරෙන නිලධාරීන්ගේ සේවයත් මම අපේක්ෂා කරනවා. මේ සියලුදෙනාගේම එකමුතුවෙන් තමයි දඹුල්ල ලෝක උරුමයක් බවට පත්කරන්න පුළුවන් වෙන්නේ කියන දැඩි පිළිගැනීම මා තුළ තිබෙනවා.
Q නමුත් භාරකාර හිමියන් පවසනවා ලෝක උරුමයෙන් ඉවත්වූවාට ප්‍රශ්නයක් නැහැ, බෞද්ධ උරුමය පමණක් ප්‍රමාණවත් කියලා?
ඒ උන්වහන්සේට තිබෙන අවබෝධය අනුවයි පවසන්න ඇත්තේ. නමුත් මට තිබෙන අවබෝධය අනුව නම් මේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි. මේක බෞද්ධ උරුමයක් තමයි. අතීත රජවරුන් අපිට මේ ස්ථානය ආරක්ෂාකර දුන්නේ ඒ නිසානේ. නමුත් ඒ බෞද්ධ උරුමය චිරාත් කාලයක් රැකගැනීමට නම් අපිට රජයේ සහය අවශ්‍යයි.
ඒ වගේම බෞද්ධ උරුමය ලෝක උරුමයක් වීමෙන් අපිටමනේ ආඩම්බර. ඒ ගැන තේරුම් ගන්න බැරි ඇයි? අතීතයෙන් අපිට මේ උරුමය ආරක්ෂා කර දුන්නා සේම අපි අනාගතයටත් මේ උරුමය ආරක්ෂා කරගත යුතුයි.
Q මේ සම්බන්ධයෙන් රටවැසියන්ට ඔබවහන්සේ පවසන්නේ කුමක්ද?
දඹුල්ල ඓතිහාසික ලෙන් විහාර සංරක්ෂණය කරගෙන යාමට ශිල්පීය ඥානය ඇති රටවැසි කවුරුන් හෝ සිටිනවා නම් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම දඹුල්ල වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට මම කියන්නේ අපි දඹුල්ල ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා ඉටිපන්දම්, හඳුන්කූරු වැනිදෑ ලෙන් විහාරය තුළ දල්වන්න එපා කියා ඉල්ලා සිටිනවා.
ඒ වගේම ඓතිහාසික චිත්‍ර, පිළිම ආදියෙහි අසිරිය ඇස්වලින් බලනවා මිස ඒවා අල්ලන්න එපා. ඇස් දෙකෙන් බලලා සතුටු වෙන්න. මොකද ඇතැම් පුද්ගලයන් සීගිරිය කැටපත් පවුරේ වගේ මේ දඹුලු චිත්‍ර මත තමන්ගේ නම ලියන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේ අනුවණ ක්‍රියා කරන්න එපා. ඒ වගේ ලියපු දේවල් මකන්න අපහසුයි. එයින් හානි වන්නේ මේ ලෝක උරුමයට. බෞද්ධ අයිතියක් ඇති දඹුල්ල රැකගත්තු නිසා තමයි අද ලෝක උරුමයක් බවට නම් වෙලා තිබෙන්නේ. මෙය ඉදිරියටත් අපි රැකගත යුතුයි. ඒ සඳහා ඔබ දායක වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම බොහෝ දෙනාගේ නොසැලකිල්ල මත මේ පුදබිම විනාශයට පත්ව තිබෙනවා. කල්පනාකාරීව මේ තුළ හැසිරෙන්න. අපේ මේ බෞද්ධ උරුමය රැකගන්න කියලා තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Comments
Post a Comment