ගොටුකොළ හා මගුණුවැන්න ගැන ඔබ නොදත් දේ..෴

‘පැනයන මුවන් දැක නොදමවු නෙළුෑ පලා’ යනුවෙන් ආප්තෝපදේශ ලියූ ලාංකිකයාට අත ඇති පලා මිටිය පොළොවේ ගසා ඉවත දුවන්නට සිතෙන ප‍්‍රවෘත්තියක් පසුගියදා අසන්නට ලැබුණි. මන්දයත් බොහෝදෙනා අත අද තිබෙන්නේ තමා විසින් නෙළුෑ පලා නොව කවරෙකු හෝ නෙළා මිටි බැඳ කඩ බක්කියට ගෙනවිත් දැමූ කොළ මිටියක් නිසාය. එය කවුරුන් කුමන තැනකින් නෙළාගෙන ආවාදැයි පාරිභෝගිකයා දන්නේ නැත. වස දියරෙන් පොඟවා වගාකොට, කඩා ගත්තාට පසු කුමන දිය කඩිත්තෙන් සෝදාගෙන ආවාදැයි දන්නේත් නැත. මේ ප‍්‍රවෘත්තිය සමස්ත රට වැසියාට වැදගත් වන්නේ ඒ නිසාවෙනි. එය අසන්නට ලැබුනේද එසේ මෙසේ තැනකින් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වෙනි වාර්ෂික විද්වත් සමුළුවේදීය. පසුගිය සැප්තැම්බර් 6,7 දෙදින තුළ පේරාදෙණියේදී මෙය පැවැත්වූයේ ”නිපදවීමෙන් ඔබ්බට ගොවිකම” (Agriculture Beyond Production) යන තේමා පාඨය යටතේය. සංවිධායකයින් එවන් තේමාවක් තෝරාගැනීම තුළින් පවා කියවෙන්නේ ගුණාත්මක බෝග නිෂ්පාදනයක සහ නිපදවන දෑ නිරපරාදේ විනාශවී යාම නොහොත් පසු අස්වනු හානිය අවම කිරීමේ කාලීන අවශ්‍යතාවයයි. අස්වැන්න පමණක් ඉලක්ක කරගත් ගොවිතැනක හිනිපෙත්ත අබියසට අප පැමිණ සිටිමු. දැන් අවශ්‍ය වන්නේ වසවිස නැති යහගුණැති බෝගයක් එළිදැක්වීමත්, පාරිභෝජනය කරන තෙක් එය රැකගනීමත්ය. ආහාරයට ගැනෙන පිළිගත හැකි මට්ටමේ කොළ එළවළු වර්ග 59 ක් මේ සරුබිමෙන් සොයාගෙන ඇති බව ඇතැම් වාර්තාවල සඳහන්ව තිබේ. ගමේ ගොඬේ කෑමට ගැනෙන ගහකොළ ගැන සොයා බලන්නේ නම් මේ සංඛ්‍යාවන් මීටත් වඩා ඉහළ නගී. කොළකැඳ, මැල්ලූම්, සම්බෝල, ඇඹුල ආදී වශයෙන් නානාප‍්‍රකාර රටා මවමින් ඒවා මිනිස් සිරුරට ඇතුළු වේ. ගැමියාට මෙහි පුළුල් විවිධත්වයක් තිබුණද නාගරිකයින් තම කොළ එළවළු අවශ්‍යතාවය සපුරා ගන්නේ ගොටුකොළ, මුකුණුවැන්න හා කංකුන් වැනි ප‍්‍රධාන පලා වර්ග තුන මගිනි. වගාකරුවන්ට වාණිජ මට්ටමෙන් වගාකර ඉක්මනින් අස්වැන්න ලබා, කටයුතු අවසන් කළහැකි මට්ටමේ වර්ධන වේගයක් මේ මාදිලි සතුවීම පුළුල් පැතිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වනවා විය හැකිය. කෘෂි විද්වතුන් යහපත් ගොවිතැනක් රට තුළ ජනිත කිරීම උදෙසා පවත්වන පර්යේෂණ ගොන්නක ප‍්‍රතිපල, ප‍්‍රසිද්ධියේ සාකච්ඡුාවකට බඳුන්වෙන සමුළුවක් වූ මෙහි කියවුණ ඇතැම් පර්යේෂණ තොරතුරු ඍජුවම ගොවියාට ආදේශ කළහැකි ඒවා නොවේ. නමුත් වහාම හේනට, කුඹුරට ගොස් පැවසිය හැකි වැදගත් තොරතුරුද එතැනදී බිහිවුණි. නිලධාරි හිඟය, සිටින අතළොස්සට වුවත්, ගොවි ගෙදරට යනවාට වඩා වෙනත් කර්තව්‍යයන් පැවරී තිබීම, තවත් පිරිසක් තුළ තිබෙන අතෘප්තිකර හා කුසීත හැඟීම් වැනි හේතු නිසා, කලක පටන් නාරටි බිඳී යාමට පාත‍්‍ර වූ කෘෂිකාර්මික ව්‍යාප්ත සේවය හරහා මෙවැනි තොරතුරු කඩිනමින් ජනගත වීමක් බලාපොරොත්තු වීම නම් මුලාවකි. කෘෂිකර්මයේ සිටිනා උගතුන්ගේ අවධානය ගොවිතැන වෙතට යොමුවෙනවා මදියයි කලක පටන් සමාජ අවලාද නැගෙන්නේත් මේ සුනංගුවේ ප‍්‍රතිපලයක් ලෙසයි. කඩිනමින් ජනගතවීමේ මාවතක් වහ වහා විවර විය යුත්තේ මේ තොරතුරු ඒ තරමටම පොදු ජනතාවගේ යහපැවැත්මට වැදගත් වන බැවිනි. එදින මා හට අසන්නට ලැබූ මෙම කාලෝචිත තොරතුර ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණියේ පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ විද්වතියක් වූ යොෂිඩා ලක්ෂානි මහත්මිය විසින්ය. අප විසින් මහත් ලැදියාවකින් ආහාරයට එකතුකර ගන්නා ප‍්‍රධාන පලා වර්ග දෙකක් වන ගොටුකොළ හා මුකුණුවැන්නවල තිබෙන පලිබෝධනාශක ඉතුරුම් හෙවත් අවශේෂයන් ගැන ඇය සොයාබලා තිබුණේ අප හොර රහසේම වස කනවාදැයි කියා ජනතාවට දන්වන්නටය. මේ සඳහා කළ පරීක්ෂණ පවත්වා තිබුණේ ඉතා සංවේදී නවීන උපකරණ ඇසුරෙනි. එවැනි දේ හැමතැනම නැත. රෙජිස්ට‍්‍රාර් කාර්යාල පරිශ‍්‍රයේ ඇති මෙම විද්‍යාගාරය ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලයේ ප‍්‍රමිතිකරණය මගින් ISO 17025 යටතේ පිළිගැනීමට ලක් වී තිබේ. තවත් බර තබා කියනවානම් රජයේ ආයතන සතු විද්‍යාගාර අතුරින් මෙය දෙවැනි වන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයට පමණකි. මෙම විද්‍යාගාරයේ එක කොටසක පලිබෝධ නාශකයන්ගේ ඉතුරුම් හෙවත් අවශේෂ පරීක්ෂා කරනවිට අනෙක් කොටසේදී ඍජුවම පලිබෝධනාශක පිළිබඳ පිරික්සුම් සිදු කරයි. ඉතා සියුම් සංවේදී මානයන් ඔස්සේ විමසා බලා තිබූ මෙම තොරතුරු මගින් පාරිභෝගික මනස කොළ එළවළු සංස්කෘතියේ නව මාවතක් කරා රැගෙන යනු ඇතැයි අප විශ්වාස කරන බැවින් හැකි විගස ඔබව දැනුවත් කිරීම අපගේ යුතුකමක් වේ. ”කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දක්වා කොළ එළවළුවලට කියා කිසිදු පළිබෝධක නාශක නිර්දේශයක් දීල නෑ. නමුත් අපි හැමෝම දන්නවා ගොවීන් කිසිදු වග විභාගයකින් තොරව මේවට වස දියර ඉසිනවා. මම උත්සාහ කළේ අස්වැන්න නෙළන මට්ටම වනවිට මේ වසවිස කොපමණ ප‍්‍රමාණවලින් ගොටුකොළ හා මුකුණුවැන්නවල ඉතිරිව තිබෙනවද කියල සොයා බලන්නයි.” පසුගිය දිනෙක මා හමුවූ අවස්ථාවේ ඇය විස්තරය ඇරඹුවේ එලෙසිනි. සමුළුව තුළදී විනාඩි කීපයක් තුළ දිගහැරුණු ඇයගේ විස්තර අසා සිටි මා හට තිරය පිටුපස ඇති සවිස්තර කතාව අසා දැනගැනීමට තිබූ දැඩි කුතුහලය සමනය කරමින් ඇය දිගටම කරුණු පහදයි. ”අධ්‍යයනය කෙරුවේ මහනුවර, කළුතර හා පුත්තලම යන දිස්ත‍්‍රික්කවල. මේ ප‍්‍රදේශවල බහුලව කොළ එළවළු වවනවා. මහනුවරින්, රටේමුල්ල, මාරස්සන, හා තාලාතුඔය ගොවි ක්ෂේත‍්‍රත්, කළුතරින් බණ්ඩාරගම, මිල්ලනිය හා හොරණ ප‍්‍රදේශත් තෝරාගත්තා. පුත්තලමෙන් ගත්තේ ආරච්චිකට්ටුව, අඹකැලේ හා මුකුණුවටවන කියන ගොවිබිම්.” ඇය ප‍්‍රමුඛ සහායක බලකාය විසින් මෙම පළාත්වලින් අස්වැන්න නෙළන මට්ටමේ ඇති වගා තෝරාගෙන ඒවායින් සාම්පල එකතු කරගෙන විත් රසායනාගාර පරීක්ෂා සිදුකර ඇත. වෙළඳසැල්වලින් සාම්පල එකතු නොකොට කෙළින්ම ගොවි ක්ෂේත‍්‍රවලට ඇය ගොස් ඇත්තේ බෝගයේ ආරම්භක ස්ථානය නිවැරදිව හඳුනාගෙන වස දියර හෙලන්නන් පහසුවෙන් නම් කළ හැකි බැවිනි. ”ප‍්‍රධාන වශයෙන් පලිබෝධ නාශක වර්ග පහක් කොළ එළවළුවලට ඉසිනබව මූලික අධ්‍යයනයන්ගෙන් පෙනී ගියා. මම ඔවුන්ට ප‍්‍රශ්නාවලියක් දුන්න පිළිතුරු සැපයීමට. ඒකෙන් ලැබුණු මූලික තොරතුරු පවා හරිම අමිහිරියි. පුත්තලමේ හමුවූ ගොවීන් දියර වර්ග දෙක තුන ඔවුන්ගේ පහසුවට මිශ‍්‍ර කරලා එකම ටැංකියේ දාල ගහනවා. අපි ඉස්සර ඉඳලම කියන කතාවක්නේ කවදාවත් තෙල් බෙහෙත් මිශ‍්‍ර කරන්න එපා කියන එක. මෙතැනදී ඒ ද්‍රව්‍ය එකිනෙක ප‍්‍රතික‍්‍රියා කරලා වෙනත් විෂ ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. අනෙක් කරුණ තමයි පලා අස්වැන්න නෙළන්න දින දෙකකට කලින් පවා සමහරු බෙහෙත් ගහනවා. මේ ඕනෑම වර්ගයකට අඩු තරමින් දින හතක වත් ප‍්‍රවේසම් කාලයක් තියෙනවනේ, මේ අය දැන දැනත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.” කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝ කලකට ඉහතදී කළ මෙවැනි නිර්දේශයන් පවා තඹ දොයිතුවකට මායිම් නොකරමින් මුදලට පමණක් කෑදර ඊනියා ගොවි රජුන් තම නිෂ්පාදනයන් හරහා ජනතාවට වස කැවීම මේ මට්ටමෙන් සිදු කරන්නේ නම් සාමාන්‍ය පාරිභෝගියාට දෙවියන්ගේම පිහිටයි කියන්නටවත් බැරි වන්නේ එය ලබන්නටවත් ඔවුන් ජීවත් නොවන නිසාවෙනි. මෙරටුන්ගේ ඉබාගාතේ තෙල් ඉසීමත්, අහක බලාගෙන කොළ එළවළු ගිල දැමීමත් මෙලෙස සිදුවුවද, කෘෂි රසායනික ද්‍රව්‍ය නිපදවන දියුණු රටවල වැසියෝ කටයුතු කරන්නේ බොහොම පරිස්සමටය. ගොටුකොළවල තිබූ අවශේෂ රසායනයන් රටට ඇතුල්වීමට පෙර සියුම් උපකරණ ඇසුරෙන් හඳුනාගත් යුරෝපා සංගමය ලංකාවෙන් එන එළවළු සහ පලතුරුවලට 2015 දී පනවන්නට ගිය තහනමෙන් පවා අප ගැලවුනේ බොහොම අමාරුවෙන් කටයුතු නිවැරදි කර ගැනීමෙනි. කියවීමෙන් පසු බියවී පලාකොළ කෑම අතහැරීමට නොව, තත්ත්වය තේරුම ගැනීම උදෙසා මෙම පර්යේෂණයෙන් ලැබූ තොරතුරු සම්පිණ්ඩනයක්ද තවදුරටත් දැනගැනීම වැදගත්ය. කළ හැකි සහ කළ යුතු දෑ තීරණය කිරීම පාඨක වගකීමකි. යෝජනාවක් ඉදිරිපත් කිරීමට වඩා එහා දෙයක් කිරීමට අප අසමත් වේ. යොෂිඩා මහත්මිය එකතුකළ පලා සාම්පල අතරින් 50% කම හානිකර මට්ටමකින් පලිබෝධ නාශක තිබිණ. එසේ හානිකර යයි හඳුනාගත් සාම්පල අතර 40% ක් බැගින් තිබුණේ කළුතරින් හා පුත්තලමෙන් එකතු කළ ඒවායි. ඉතිරි 20% මහනුවරින් එකතුකළ ඒවා විය. ගොවීන් විසින් කෘෂි රසායන ද්‍රව්‍ය පහක් භාවිතා කරන බව මූලික සමීක්ෂණයෙන් අනාවරණය වුවද අවශේෂ සොයා බලන විට ඇයට හමුවී ඇත්තේ වර්ග 4 ක් පමණි. ඒවා වන්නේ ෆිප්‍රෝනිල්, ෆෙන්තෝඒට්, ප්‍රෝෆනොෆොස් සහ ටෙබුකොනසෝල්ය. දිව උලූක් වෙන තරමට වරනගා ශබ්ද කළයුතු අපට නුපුරුදු මෙම නාමයන් ඒවාහි විද්‍යාත්මක නම වන අතර වෙළඳ නම් ලීවා නම් මෙතනදී කාටත් පහසුවෙන් තේරුම් යන්නට ඉඩ තිබුණි. එහෙත් අවශ්‍ය වන්නේ වස විස ඇතිබව දැනගැනීම මිස ඒවා මොනවාදැයි කට පාඩම් කිරීම නොවේ. යොෂිඩා මහත්මියගේ විද්‍යාගාරයේ ඇති උපකරණයන්හි සංවේදී බව කෙතරම්ද කියනවානම්, ඒවා මගින් වසවිස අවශේෂ මනින්නේ අදාළ බෝගයේ කොටස් බිලියනයකට අවශේෂ කොටස් කීයක් තිබෙනවාද කියාය (ඡු්රඑි චැර ඊසකකසදබ නොහොත් ppb). මෙවැනි අගයන් ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා මෙතෙක් කතා කරනු ඇසුනේ කොටස් දශ ලක්ෂයකට කීයක්ද (චචප) වශයෙන් වුවත්, දියුණු සමාජය විසින් දැන් තවත් සියුම් මාත‍්‍රා හරහා වසවිස අන්තර්ගතය සොයාබැලීමට පුරුදු පුහුණු වී ඇත. යුරෝපීයයන්ගේ පාරිභෝජන ප‍්‍රමිතිය 10 ppb වන අතර ඒ අගයට ඉහළින් කෘෂි රසායනයන් ඇත්නම් ඔවුහු ඒවා අල්ලන්නේවත් නැත. ඒ මට්ටමෙන් සොයා බැලූවහොත් අපටනම් කිසිවක් කන්න නොලැබෙන බවක් පෙනේ. අනෙක් අතට අපගේ ආහාර රටාව අනුව කොළ එළවළු බත් පතට එකතුවන්නේ මැල්ලූමක්, සම්බෝලයක් වැනි සුළු පරිමාණයකින් නිසා අප ඒ තරමට සංවේදී නොවුණත්, එය දරාගත හැකි වරදක් වෙයි. ”යුරෝපීයයන් කොළ ජාති කනකොට ගොඩක් කනවා. ඔවුන් පිෂ්ඨය ගන්නේ අඩුවෙන්. ඒ නිසා අපට වඩා සංවේදී වීම විය යුත්තක් මෙන්ම සාධාරණයි.” යොෂිඩා මගේ අදහසට තවත් අදහස් එකතු කරමින් කියා සිටී. ඇය විසින් අපහට සිත සතුටින් වස කන්නට අවස්ථාවක් උදාකර දුන්නාදැයි සිතෙන තරම්ය. ඇය කීවත් නොකීවත් අප වස කන්නේ සිත සතුටින්මය. වෙළඳ ඒකාධිකාරිය විසින් රූප පෙට්ටිය සරසමින් ජනතාවගේ සිතුවිලි විකෘති කිරීමට පින් සිදුවන්නට බොහෝ අයගේ බත්පතෙහි අද වැඩිපුර ඇත්තේ පදමට සැකසූ වසවිසය. එවන් විපරිත අඩුක්කුවක පසෙකින්, යන්තමට වස තැවරූ කොළ මැල්ලූම් ඩිංගක් තිබීම එතරම් ගණන් ගත යුත්තක් නොවන බව කියමින් ලාවට වසවිස පාරිභෝජනය කිරීම සාධාරණීකරණය උදෙසා කැපවූ ‘විද්වතුන්’ ද හෙට අනිද්දා බිහිවිය හැකිය. මා එසේ කියන්නේ පසුගිය දිනෙක මා ලියූ දළඹු අවදානමක් ගැන සඳහන් කල ලිපිය කියවූ බහු උපාධිධර ‘විද්වතෙක්’ මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට කෙටිසටහනක් ඒවා තිබීම නිසාය. මෙම සලබයාට තමිල්නාඩුවේ සිට මෙහි ඒමට ඉන්දියන් සාගරය තරණය කළ යුතු බවත්, එය බොහෝවිට සිදුවිය නොහැක්කක් බැවින් නිකරුනේ ජනතාව බයකිරීමෙන් වළකින ලෙසත් මා හට අවවාදයක්ද කර තිබුණි. එය එසේනම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආපදාවක් ගැන අනතුරු හඟවන, ජනතාව බයකරන බොහොමයක් ආයතන රට පුරාම තිබේ. මන්ද යත් ඒ සියලූ අනතුරු හැඟවීම්වලට අදාළවද එවැන්නක් නොවීමට 50% ක සම්භාව්‍යතාවයක්ද ඇති බැවිනි. මෙවැනි කුසීතයින් හැමදාම වීණා වයන්නේ අවදානමක් නැතැයි යන මෙම සුභවාදී අර්ධය තුළ හිඳිමින්ය. යොෂිඩා මහත්මිය විශ්ලේෂණය කළ ගොටුකොළ සාම්පල දෙකක ප්‍රෝෆනොෆොස් කෘමි නාශකය 7583 ppb තරම් ඉහළ මට්ටමකින් තිබුණේ ජාත්‍යන්තරය 10 ppb වලින් ඔබ්බට තිබේනම් තහංචි පනවද්දීය. තවත් පලා සාම්පලයක ෆිප්‍රෝනිල් අන්තර්ගතය 372 ppb ලෙස වාර්තා වුයේ යුරෝපීය සීමාව 5 ppb වෙත්දීය. ප්‍රෝෆනොෆොස් හා ටෙබුකොනසෝල් යනු දෙවන කාණ්ඩය යටතේ වර්ග කළ කහ ලේබල් සහිත හානිදායක පලිබෝධ නාශකයන්ය. (කෘෂි රසායන බඳුනේ ලේබල් වර්ණය අනුව රතු – අන්තරාදායක, කහ – හානිදායක, නිල් – අවදානම් සහිත සහ කොළ – හානි අවම, වශයෙන් වර්ග කර තිබේ.) ටෙබුකොනසෝල් යනු සංස්ථානික දිලීර නාශකයකි. එනම් එය ශාකයට උරා ගෙන දිලීර නසන නිසා සේදීමෙන් පවා ඉවත් කළ නොහැකිය. ප්‍රෝෆනොෆොස් ස්පර්ශ කෘමි නාශකයක් වුවත්, ජලයේ දිය නොවන නිසා එයද සේදීමෙන් මුළුමනින් ඉවත් නොවේ. ”පලාකොළ සෝදන විට බේසමක දාල වතුරේ ගිල්ලවල හෝදන්න එපා. එතකොට වතුර හා මිශ‍්‍රවෙන කෘෂි රසායනයෙන් ශාකයේ හැමතැනම තෙමිලා ආහාරයට එකතුවෙන ප‍්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අනෙක ඒ වතුර බේසමෙන් තව එළවළුවක් සේදුවහොත් එයටත් එකතුවෙන්න පුළුවන්. මේ නිසා ගලායන ජලයෙන් පලාකොළ හොඳට සේදිය යුතුයි.” ඇයගේ අවවාදය ගෘහනියන්ටය. මෙම තොරතුරු අනාවරණය කෙරෙන අධි සංවේදී උපකරණයන් මගින් පලිබෝධ නාශක අවශේෂයන් හඳුනාගෙන ඇත්තේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක 250 ක් වැනි ඉහළ උෂ්ණත්වයක නිසා, ගෙදරදී ප්‍රෙෂර් කුකරයක පලාකොළ මාළුව ඉව්වත්, මේ රසායනයන් නම් රස්නය හමුවේ විනාශ නොවන බව හොඳටම පැහැදිලි වේ. හඳුනානොගත් රෝගයක් කරපින්නාගෙන රෝහල් සයනයේ සැතපී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත්, කෘමිනාශක වෙළෙන්දන්ටත් බැන වැදීමෙන් මේ සමාජ අවදානම සමනය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ශීලාචාර ගොවි පරපුරක් බිහිකිරීමයි. එය අද හෙට හදිස්සියෙන් කළ හැකි දෙයක්ද නොවේ. ජපානය තම පුරවැසියන්ව, අද එහි පවතින ශීලාචාර සමාජය වෙත ගෙන ආවේ පියවරෙන් පියවර බොහොම පරිස්සමෙනි. පාසැල් දරුවන්ට රූප පෙට්ටියේ ඇති දෑ ගිල්ලවීම අතහැර දෙමවුපියන් කළ යුත්තේ එහි ඇති අගුණ දරුවන්ට කියා දීමත්, වසවිස ඇති ආහාර පිටුදැකීමට ඔවුන්ව පුරුදු කිරීමත්ය. ගොටුකොළ, මුකුණුවැන්න ඕනෑම නම් තම ගෙවත්තේ ඉතා පහසුවෙන්, අඩුතරමෙන් පෝච්චියකවත් වගා කරගන්නට බැරි කෙනෙක් ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. මීට අමතරව වාණිජව වවන පලා වෙනුවට යොදා ගත හැකි අනුප‍්‍රාප්තික කොළ වර්ග ඕනෑතරම් මෙහි තිබේ. ඒවා ඇතැම්විට වාණිජ පලාවලට වඩා ගුණයෙනුත් වැඩිය. එදා පැවති සමුළුවේදී යොෂිඩා ලක්ෂානි මහත්මිය කළ මෙම අනාවරණය ”වගකීමෙන් යුතු පරිභෝජනය”යන තේමාව යටතේ කළ හොඳම ඉදිරිපත් කිරීම බව සමුළු බලධාරීන් විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී. සමස්ත රටවැසියාට කෙළින්ම බලපාන බිම් මට්ටමේ මෙවැනි පර්යේෂණ පැවැත්වීමට තරුණ විද්වතුන්ගේ ඇති උනන්දුවත්, ඒවාහි ප‍්‍රතිපල මත තම ගති සිරිත් සුසර කර ගැනීමට ජනතාවට ඇති උනන්දුවත් වැඩි දියුණු වන්නේ නම්, අවදානමේ අවවාද, ජනතාව බිය වැද්දවීම් යයි හුවා දක්වන කටමැත දෙඩවීම් නතර වීමටද වැඩි කලක් නොයනු ඇත.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴