බිංකොහොඹ෴

බිං කොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ගණව කිරුලක් මෙන් ඇසිරී ඇත. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඒ ඒ ප්‍රභේදවල මල් ද තරමක විවිධත්වයකින් ගනී. ස්ඵෝටිකාවක් වන ඵලය පිපිරී යෑමෙන් විසිරෙන බීජ මඟින් ශාකයෙහි ව්‍යාප්තිය සිදු වේ. බිංකොහොඹ වානිජව වගා කීරීමෙන් ඉහල ආර්ථික ප්‍රතිලාභ ලබ ගත හැකිය. වඳවී යාමේ තර්ජනයටද ලක්ව ඇති වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන බිං කොහොඹ ශාකය Meliaceae උද්භිද කුලයට අයත් ය. බිංකොහොඹ දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. ඉන්දීය වෛද්‍ය නිගණ්ඩුවල දේශීය බිංකොහොඹ ශාකය ගැන සඳහනක් නොමැත. අතීතයේ සිටම භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය වෛද්‍යවරු බිංකොහොඹ ශාකය ඖෂධ සඳහා භාවිතයට ගෙන ඇත. බිංකොහොඹ නාමය සහිත නම් තවත් දේශීය ශාකයක් හමුවන අතර එය “හීං බිංකොහොඹ” (Andrographis paniculata) නම් වේ. දේශීයව එයට වල් බිංකොහොඹ සහ ඇතැම් විට කිරාත යන නම ද භාවිතා කරයි. සංස්කෘතෙන් භූනිම්බ, කාලමෙඝ ආදී නම් වලින් හඳුන්වන එම ශාකය දේශීයව සහ විදේශීයව බෙහෙවින් ඖෂධ සඳහා භාවිතා කරන්නකි. දේශීය වෛද්‍යවරු බිංකොහොඹ වෙනුවට මෙම හීං බිංකොහොඹ ශාකය ද භාවිතයට ගනී. මෙම ශාක විශේෂ 2 හා බැඳෙන තවත් පැළෑටියක් ඇති අතර එය කිරාත හෝ කිරාතතික්ත යනුවෙන් හඳුන්වයි. Swertia chirata නම් උද්භිද නාමය සහිත එය මෙරටදී හමු නොවන ඉන්දියාවේදී පවා දුර්ලභව හමුවන්නකි. මෙම උද්භිද ගණයට අයත් Swertia zeylanica නම් හොර්ටන් තැන්න වැනි පතන් ආශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. කිරාතතික්ත වෙනුවට ඉන්දීය වෛද්‍යවරු හීං බිංකොහොඹ භාවිතා කරතත් එය නිවැරදි නොවන බවත් කාලමේඝ ලෙස සඳහන්ව ඇති විට කිරාතතික්තම භාවිතා කළ යුතු බවටත් ඇතැම් ඉන්දීය වෙදැදුරන් අතර මතයක් පවතී. බිංකොහොඹ ආයුර්වේදයේ සඳහන් කිරාතතික්ත තරමටම හෝ ඊටත් වැඩි තරමින් උණ නසන, රුධිරය පිරිසිදු කරන, තික්තබලකාරක ගුණයෙන් යුක්ත බව සඳහන්. දේශීය වෙදකමේදී උණ, අතීසාරය, අජීර්ණය, කුසගිනි මදිකම, මලබද්ධ, වාතරක්ත, කුෂ්ඨ, වණ, වේදනා, ඉදිමුම්, රක්ත අර්ශස්, චර්ම රෝග, එක්සිමා හෙවත් කඩුවේගන්, ඇඳුම, කැස්ස, රුධිර සංසරණ පද්ධතියේ රෝග, වමනය ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිත කරයි. බිංකොහොඹ කුසගිනි වඩවන, මුත්‍ර කාරක, වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. හික්කාවට (ඉක්කාවට) බිංකොහොඹ සහ කොත්තමල්ලි ග්රෑම් 15 පමණ ගෙන තලා වතුර පත 2 ක් දමා, පත භාගයට සිඳුවා මී පැණි ප්‍රක්ෂේප කොට බීමට දිය යුතුය. වියළි බිංකොහොඹ චූර්ණය ග්රෑම් 6 ක් මී පැණි සමඟ ලේහ කිරීමෙන් වමනය සුවවේ. උණට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ප්‍රකට ඔෂධයක් වන සුදර්ශන චුර්ණයේ වැඩි වශයෙන් ඇත්තේ බිංකොහොඹ ය. වඳවෙමින් පවතින වටිනා දේශීය ඖෂධ පැලෑටියක් වන බිංකොහොඹ ශාකයක් බඳුනක හෝ වවා ගැනීමට උනන්දු වීම දේශීය වෙදකමට හිතැති කාගේත් යුතුකමකි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴