ශ්‍රී ලංකාවෙ තැනක් නොලැබුන නිහඬ විද්‍යාත්මක පර්යේෂණ කල විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධන මහතා...
විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධනයන් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයන් බොහොමයකි. ඊට හේතුව ඔහු පෞද්ගලික ප්‍රසිද්ධිය පිළිබඳව උනන්දු නොවූ බැවිනි.එහෙත් දියුණුව ප්‍රාර්ථනා කරන අයට ඔහු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන්නේය. වඩාත් වැදගත් වනුයේ ඔහුගේ දැනුම සහ විද්‍යාවට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ “රේ” නමිනි. ආචාර්ය රේ. ගේ පියා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරු වෛද්‍ය ඩී. විජයවර්ධන මහතායි. ආචාර්ය රේ. ගේ අධ්‍යාපනය සහ රැකියාවට මුල් පසුබිම සලසනු ලැබූයේ පියා විසිනි. මව ඉංගිරිසි ජාතික කාන්තාවකි. ඇය ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ආචාර්ය රේ. ගේ විනය හා කාර්යක්ෂම බවට මවගේ බලපෑම බෙහෙවින්ම විය. ඇය එවකට බෝපිටිය සහ ගිරිඋල්ල අතර, අසුපිටින් ගමන් ගනිමින් ගම්වාසීන්ට නොමිලයේ ප්‍රතිකාර කළාය. ආචාර්ය රේ. විජයවර්ධන, වරෙක මොරටුව සරසවියේ කුලපතිවරයා වූ අතර තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ද විය. පොල් පර්යේෂණ ආයතනයේ වසර 50ට වඩා පර්යේෂණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ඔහු සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික විද්‍යා සභාව, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහුගේ සේවය ලැබූ ආයතන කිහිපයකි. රෝද දෙකේ ට්‍රැක්ටරය ලෝකයට රෝද දෙකේ ට්‍රැක්ටරය හඳුන්වා දුන්නේ ඔහුයි. රෝද හතර ට්‍රැක්ටරය අභිබවා රෝද දෙකේ ට්‍රැක්ටරය බිහිකිරීම ඔහුගේ විශිෂ්ට කාර්මික ඥානයේ ප්‍රතිඵලයකි. ඔහු කුඩා කාලයේ බෝපිටිය අසල කුඹුරුවල මී හරකුන් පසුපසින් යමින් සී සෑම් කළ ගොවීන් දෙස බලා සිටියේය. ඔවුන් එහෙ මෙහෙ සහ ඇවිද යන දුර පිළිබඳව කල්පනා කළේය. පසුව ඔහු බෝපිටිය ගමේ කම්මලට ගියේය. එහි සයිමන් බාස් උන්නැහේ හමුවිය. ඔහු අතින් ඉතා සරල රෝද දෙකක් සහිත “ලෑන්ඩ් මාස්ටර්” නම් ට්‍රැක්ටරය බිහිවිය. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඉන්පසුව, එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.   ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. එම අධ්‍යාපනය ලැබුවේ මොරටුව තාක්ෂණික විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය කරා ගියේය. එහිදී ඔහුගේ ගුරුවරයා වූයේ ආචාර්ය “එඩ්මන්ඩ් ඩී.බෝනෝ” ය. එහිදී ඔහුට වර්තමානයේ අන්තර්ජාතික ට්‍රැක්ටර් නිෂ්පාදනයේ දැවැන්තයින් වන “හෙන්රි ෆර්ගියුෂන්” වැනි අය ඇසුරු කිරීමට ලැබුණි. එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසුව, ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්වූයේ ඔහු විසින්ම පැදවූ සැහැල්ලු ගුවන් යානයකිනි. එය, එවකට මිසරය (වර්තමාන ඊජිප්තුව) හරහා ඉන්දියාවේ, මදුරාසිය කරා තනිවම ළඟා විය. එම ගුවන් යානයෙහි කොම්පාසුව හැර වෙනත් උපකරණ නොවීය. මදුරාසියේ දී එම ගුවන් යානය විකුණා ලබාගත් මුදල් ටික ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඉංජිනේරු පර්යේෂණ කටයුතුවල දිගටම නියැලුණේය. ඒ අනුව මුලින් කී රෝද දෙකේ ට්‍රැක්ටරය බිහිවිය. සැහැල්ලු ගුවන් යානා රේ මහතා විසින්ම නිපදවන ලද තවත් සැහැල්ලු ගුවන්යානයක්   රේ මහතා විසින්ම නිපදවන ලද තනි පුද්ගලයෙක්ට ගමන්කල හැකි සැහැල්ලු ගුවන්යානය සූටික්කා    ගුවන් ගතකිරීමට සූදානම් කර ඇති තවත් සැහැල්ලු ගුවන්යානයක්   රේ මහතා විසින්ම නිපදවන ලද හැකිලියහැකි සැහැල්ලු ගුවන්යානයක්.මෙය ජලය මතුපිට සිට ගුවන්ගත කිරීමටත්, ජලය මතට ගොඩබැස්සවීමටත් හැකිවන අයුරින් නිපදවා ඇත. මෙරට තුල ජලාශ 30ක පමන සාර්ථකව අත්හදාබැලීම් සිදුකර ඇත  රේ මහතා විසින්ම නිපදවන ලද තනි පුද්ගලයෙක්ට ගමන්කල හැකි සැහැල්ලු ගුවන්යානය බඹරා සමග කොළඹ සිය නිවස ඉදිරිපිට  ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. වඩාත් වැදගත් වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.   ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය. එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි. වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය. ආචාර්ය රේ.ගේ “සූටික්කා", "කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා අප රටට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය. කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආචාර්ය රේ. හට ගුවන් ක්ෂේත්‍රයේ සුදුසු රැකියාවක් ලබා ගත නොහැකි විය. ඔහුගේ පියා කියා සිටියේ “පුතේ ඔබට රට වෙනුවෙන් කළ හැකි දෙයක් තිබෙන බවයි” ඒ අනුව ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු නයිජීරියාවේ පිහිටි අන්තර් ජාතික නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ ආයතනයට සම්බන්ධ විය. එහිදී නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ අතර, ”Conservation Farming” (සංරක්ෂණ ගොවිතැන) කෘතිය ලිව්වේ ය. ඉන් පසුව කෘෂිකර්ම ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කිරීමටත්, තිරසාර කෘෂිකර්ම පදනමක් ඇති කිරීමටත් කටයුතු කළේ ය. බොහෝ වගා ක්ෂේත්‍රවල අස්වැන්න නෙලීම සඳහා වන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කළේ ය. අනෙක් අතට, අවම සීසෑම (Zero Tillage) සහ සරල වල් පැළෑටි මර්දන ක්‍රම හඳුන්වා දුන්නේ ය. ඉංජිනේරු විෂය ක්ෂේත්‍රය සහ කෘෂිකර්මය එකට ප්‍රගුණ කළ පුද්ගලයින් අතලොස්සකින් ආචාර්ය රේ. ප්‍රමුඛ විය. දේශීය බලශක්ති සංවර්ධනය ආචාර්ය රේ. ගේ කාක්කපල්ලිය පිහිටි කොහොඹ වත්තට 1991 දී මා ගිය විට ආනයනය කළ ඩීසල් යෙදූ වාහනයකින් මා පැමිණි බව කියා දෝෂාරෝපණය කළේ ය. ඔහු දේශීය බලශක්ති ක්‍රමය දියුණු කළ යුතු බවට තර්ක කළේ ය. ඉන් වසර 17 ට පසුව රේ. ඇතුළු අප කණ්ඩායම පොල් පර්යේෂණ ආයතනයේ , මූලිකත්වයෙන් වසර 2008 දී දේශීය බලශක්ති ක්‍රම සංවර්ධනය කිරීම උදෙසා වූ ජනාධිපති සම්මානය ද දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාව ජාතියක් ලෙස නිදහස ලබා තිබුණ ද, බලශක්තිය වෙනුවෙන් අප රට නිදහස ලබා නොතිබෙන බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබිණි. ඩීසල් කිලෝවක අඩංගු බලශක්තිය දර කිලෝ 4.0 ඇති බව පෙන්වා දෙනු ලැබීය. එය ගල්අඟුරු වලින් නම් කිලෝ දෙකකි. වසර 2005 දී අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද එය තහවුරු කරන ලදී. ඒ අනුව යමින් ග්ලිරිසීඩියා මගින් විදුලිය නිපදවීමේ තාක්ෂණය දියුණු කර, සනාථ කරන ලදී. එය දැන් දැන් දියුණු වෙමින් භාවිතයට එක් වෙමින් පවතී. ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවීමටත්, එහි පර්යේෂණ කටයුතු සංවර්ධනය කිරීමටත් ඔහු පුරෝගාමී විය. ආචාර්ය රේ. ට අයත් කාක්කපල්ලිය පිහිටි අක්කර 147 ක් විශාලැති වූ පොල් වත්ත, එකම විශ්ව විද්‍යාලයක් බවට පත් කරනු ලැබීය. එහි වැවිලි කර්මාන්තය, තිරසාර කෘෂිකර්මය, දේශීය බලශක්ති උත්පාදනය, පොල් කර්මාන්ත සංවර්ධනය, ජල සංරක්ෂණය යන මේ සියලු අංශ මනාව දැක බලා ගත හැකි අයුරින් ලෝකයේ එකම ආදර්ශන මධ්‍යස්ථානයක් ලෙසට දියුණු කළේ ය. එහි මූලිකව ඉතා සරු පොල් වගාවකි. පොල් වගාවට, ප්‍රධාන වශයෙන් පොහොර ලබා ගනු ලැබුයේ, කොළ පොහොර ක්‍රමය පදනම් කරගෙන ග්ලිරිසීඩියා කොළ වලිනි. ග්ලිරීසීඩියා දර, ගැසිෆයර් තාක්ෂණය මගින් විදුලිය ජනනය කළේ ය. එම විදුලියෙන් නිවාස ආලෝක වූ අතර, ජල සම්පාදන පොම්ප ක්‍රියාකර, පොල් වගාවට ජල සම්පාදනය කළේ ය. ඔහුගේ පෞද්ගලික ගමනට යොදාගත් මෝටර් රථය බල ගැන්වූයේ ග්ලිරිසීඩියා දහනයෙන් ලබා ගත් විදුලිය මගිනි. පොල් ලෙලි වැලලීම වෙනුවට ඉහත කී විදුලි බලයෙන් ඉතා සරල ලෙස පොල් ලෙලි පල් කිරීම වෙනුවට පොල් ලෙලි තෙත් කර කොහු නිෂ්පාදනය කරනු ලැබීය. එමගින් ලැබෙන කොහුබත්, පොල් ඉඩමේ තෙතමනය සහ පසේ සරු බව රැක ගැනීමට යොදා ගැනිණි. මේ සියලු දේ අධ්‍යයනය කිරීමට වගාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආචාර්යවරුන් සහ විද්වතුන් නිතර කොහොඹ වත්තට පැමිණියහ. දේශීය බලශක්තිය සහ කෘෂිකර්මය ආචාර්ය රේ. එක් කළේ ය. පොල් වගාකරුවකු ලෙස... ඔහු බෙහෙවින් ම පොල් වගාවට ආදරය කළේ ය. වසර 50 ටත් වඩා, පොල් පර්යේෂණ ආයතනයේ, පර්යේෂණ සංවර්ධන වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළේ ය. පොල් ඉඩමක ඉහළ පලදාව මෙන් ම, ඉහළ ලාභයක් ලබා ගැනීමේ ක්‍රම පෙන්වා දුන්නේ ය. ආසියා සහ ශාන්තිකර පොල් ප්‍රජාව මඟින් උපහාර, තිළිණ ලැබීය. ආචාර්ය රේ. පසුකාලීනව විවේකීව, මෙන් ම විශාල ජාතික පර්යේෂණ මෙහෙවරක් සිදු කළේ පොල් වගාව මඟිනි. මිහිතලය තුළ වූ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩු කිරීමත්, මිහිතලයේ උෂ්ණත්වය අඩු කිරීම සහ වැඩිපුර හිරු එළිය ප්‍රයෝජනයට ගැනෙන පර්යේෂණ කළේ ය. ආචාර්ය රේ. පිහිනීමට ශූරයෙකු විය. වසර 1968 මෙක්සිකෝවේ පිහිටි ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. වසර 1970 දී යැන්වින් වල පැවති ආසියානු තරගාවලියේ දී පිහිනීම වෙනුවෙන් රිදී සම්මානය, ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. ඔහු සැබැවින් ම ශ්‍රී ලාංකික පුත්‍රයෙකි, පර්යේෂකයෙකි. ප්‍රායෝගිකව සියල්ල ප්‍රගුණ කළ ගුරුවරයෙකි. ඉතා යහපත් උතුම් මිනිස් ගුණාංග සහිත පුරවැසියෙකි. ඔහු ඉංජිනේරු ශිල්පය අභිබවා, කෘෂිකර්මය ඊට බද්ධ කළේ ය. විද්‍යාවේ අනාගතය දුටුවේ ය. වර්තමාන අපට මෙන් ම අනාගත පරපුරටද යහපත් ක්‍රම හෙළි කර දුන් විද්‍යාඥයෙකි.
Comments
Post a Comment