අපේ අත්තල මුත්තල ගස් ගල් පෙරළුවෙ මේව කාල බොලව්..

අනාදිමත් කාලයක සිට මෙරට වැසියන් ඉහළ ආහාර සුරක්ෂිතතාවයකින් යුතු වූ බව අපි දනිමු. ඒ විසි කළ හැරමිටිය පවා මුල් අදින තරමට සුපෝෂිත වූ භූමියක් අප සතු වූ බැවිනි. ධාන්‍ය වර්ග, පළා වර්ග, ඵල වර්ග හා අල වර්ග මෙරට වැසියන්ගේ ආහාර අවශ්‍යතාවය පිරිමැසූ අතර ඒ අතරින් බහුතරයක් භෝග අද වන විට අප කෙරෙන් දුරස් වී හෝ දුරස් කරගෙන ඇත. යටත් විජිත සමයේ අපට උරුම කළා වූ මුහුදට දත නියවන ස්වභාවය අදටත් මෙකී දූපත් වැසියන් කෙරෙන පහව නොගිය බවට එය කදිම සාධකයකි. ඒ කෙසේ වෙතත් මෙහිදී මා ඔබේ අවධානය යොමු කරවන්නට උත්සාහ කරන්නේ අපට උරුමව තිබූ දේශීය අල භෝග සම්පත කෙරෙහි ය. මෙරට පොළොවෙහි වැවෙන ආහාරයට ගත හැකි අල වර්ග 90කට අධික සංඛ්‍යාවක් පවතින අතර පොදුවේ මේවා වර්ග දෙකකි. 1. වැල් අල - වැල් වශයෙන් වැවී යන අල භෝග වර්ග යි. දන්දින, කටු අල, සීරුවල්ලි, ඇගිලි අල ආදී අල භෝග වර්ග මෙසේ වැල් වශයෙන් වැවේ. 2. ගස් අල - එනම් ගස් හෝ පදුරු වශයෙන් වැවෙන අල භෝග වර්ග ය. කිඩාරම්, බුත්සරණ, හුලංකීරිය, අලකොළ, හබරල, මඤ්ඤොක්කා ආදිය නිදසුන් ය. උද්භිද විද්‍යාත්මකව ගත් කළ Dioscorea, Colocasia, Alocasia යන කුලයන්ට අයත් විශේෂ හා ප්‍රභේද ගණනාවක් මේ අතරට අයත් ය. පහත දැක්වෙනුයෙ එවැනි අල වර්ග කිහිපයක ලැයිස්තුව කි. 1. දන්දින - Dioscorea alata 2. අඩ දන්දින - Dioscorea alata 3. හීං ඇගිලි අල - Dioscorea alata 4. පැණි අල - Dioscorea alata 5. අතු අල - Dioscorea alata 6. කිරි අල - Dioscorea alata 7. රාජාල - Dioscorea alata 8. හිගුරල - Dioscorea alata 9. ඉණි අල - Dioscorea alata 10. ලේ දන්තාල - Dioscorea alata 11. රට අල - Dioscorea alata 12. රතු අල - Dioscorea alata 13. හීං හිගුරල - Dioscorea spp. 14. මහත ඇගිලි අල - Dioscorea spp. 15. ගොරොක් අල - Dioscorea spp. 16. කිරි කොඩොල් අල - Dioscorea spp. 17. සෙවෙල් අල - Dioscorea spp. 18. අඩ දන් දේසාල - Dioscorea spp. 19. රාජවල්ලි - Dioscorea spp. 20. ගෝනාල - Dioscorea spicata 21. දේසාල - Dioscorea spp. 22. පත්තර අල - Dioscorea spp. 23. ගොටු අල - Dioscorea spp. 24. රෝස දේසාල - Dioscorea spp. 25. කහ දේසාල - Dioscorea spp. 26. ගොම අල - Dioscorea spp. 27. සුදු රැවුලල - Dioscorea spp. 28. මවු අල - Dioscorea spp. 29. කහට අගල - Dioscorea spp. 30. නට්ටාල - Dioscorea spp. 31. ජාවාල - Dioscorea esculenta 32. කුකුලල - Dioscorea esculenta 33. සීරුවල්ලී/ සිරිවල්ලි - Dioscorea esculenta 34. උඩල - Dioscorea bulbifera 35. තඹලාල - Dioscorea rotundata 36. නොටුකෙවල්ලි - Dioscorea rotundata 37. කටු අල - Dioscorea pentaphylla 38. බුත්සරණ - Canna indica 39. රැල් බුරුල්ල - Alocasia spp. 40. කලු දේසාල - Colocasia spp. 41. ඉසුරු අල - Colocasia spp . 42. තුම්මස් අල - Colocasia spp . 43. බතල - Ipomoea batatas 44. මඤ්ඤොක්කා - Manihot esculenta 45. ඉන්නල - Plectranthus rotundifolius 46. කිඩාරං - Amorphophallus paeoniifolius 47. හුලංකීරිය - Maranta arundinacea 48. හබරල - Alocasia macrorrhizos 49. හිරිතල - Dioscorea oppositifolia 50. කොහිල - Lasia spinosa 51. කිරි අලකොළ 52. වෙල් අලකොළ 53. සෙවෙල් අල 54. රැල් බුරුල්ලා අල එකම උද්භිද විද්‍යාත්මක නාමය යටතේ එන ශාකයන් සදහා දේශීයව විශාල පරාසයක් තුළ නම් භාවිතා වන අයුරු දැකිය හැකි විශේෂිත කරුණකි. මෙම දේශීය නම් ලබාදීමේදී සලකා බැලී ඇති සාධක ලෙස පෙනෙන්නේ අලවල විශාලත්වයේ වෙනස්කම්, වර්ණයන්හී අඩු වැඩි වීම්, අලයෙහි කණ්ඩිකා බෙදී ඇති ආකාරය, පත්‍රවල විශාලත්වය, පත්‍රවල වර්ණ වෙනස්කම් වැනි සියුම් කාරණා ය. මේ නිසා දේශීයව නම් කර ඇති අල වර්ග හදුනාගැනීමේ යම් දුෂ්කරතාවයක් ද ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴