අභාවප්‍රාප්ත හිටපු බුද්ධශාසන අමාත්‍ය ගරු ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා...

1930 අගෝස්තු 24 දින කොටදෙණියාව ගම්කාර්ය සභාවේ සභාපති හා ඉඩම් හිමි වැවිලිකාර ලයනල් ජයකොඩි මහතාට හා වෙන්ඩලින් ඩෙරා ඩයස් (ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගේ දියණිය) යන මවුපිය යුවළට දාව මරදානේදී උපත ලද දරුවාගේ අනාගතය දුටු අනගාරික ධර්මපාල තුමා විසින් ඔහුට 'ලක්ෂ්මන්' යන නාමය තබන ලදි. ප්‍රභූ පවුල් නියෝජනය වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කරන ලද කුඩා ලක්ෂ්මන් එහි ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවලට ද දස්කම් දැක්වූ අතර, පාසල් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙක්ද වූයේය. 1948දී පැවති ත්‍රිත්ව - සාන්ත අන්තෝනි ක්‍රීඩා තරගයේදී හේ විදුහලට අගනා සේවයක් ඉටු කළේය. එවිට එම කණ්ඩායමේ නායකත්වය උසුලන ලද්දේ ඔහගේ සමකාලීන මිතුරා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාය. ඉන්පසු බෞද්ධ පාසලක් වන ආනන්ද විදුහලට ඇතුළත් වූ එතුමා එහිදීද තම පළපුරුදු දස්කම් දක්වන්නට විය. හෙතෙම 1950 වර්ෂයේ සිංහල ක්‍රීඩා සමාජය (SSC) ක්‍රීඩා සමාජයට බැඳී එහි ක්‍රීඩා කළේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසුව සිය පියාගේ ව්‍යාපාරික කටයුතුවලට මෙන්ම පියාගෙන් උරුම වූ දේශපාලන වැඩවලට උදව් කරමින් තම පවුලේ අය විසින් ගොඩනඟා සකස් කරන ලද බලගල්ල සරස්වතී පිරිවෙන සමඟ සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ ඇසුර ලබන්න අවස්ථාව ලැබීය. එය එස්ඩබ්ආර්ඩී‍ බණ්ඩාරනායක ශ්‍ර‍ීමතාණන් පංච මහා බලවේගය පිහිටුවා පෙරට ගමන් කරමින් සිටි වකවානුව විය. ඒ අනුව තරුණ ලක්ෂ්මන්ද 1954දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී එහි සාමාජිකයෙක් වූයේය. ඒ අනුව 1960 මැතිවරණයේදී දිවුලපිටිය ආසනය වෙනුවෙන් තරග වැදී ඡන්ද 15049ක් ලැබූ හේ 1965 මැතිවරණයේදී ඡන්ද 17637ක්ද, 1970දී 23772ක්ද ලබාගනිමින් නොකඩවා අවුරුදු 17ක් දිවුලපිටිය ජනතාවට විශාල සේවාවක් කිරීමට සමත් වූයේය. මෙහිදී තම උරුමයෙන් ලැබූ ඉඩකඩම්ද ජනතාවට බෙදා දීමට තරම් හේ ජනතාවාදි වූ‍‍යේය. ශ්‍රීලනිපයත්, තම නායකත්වයත් පණ මෙන් ආරක්ෂා කළ ලක්ෂ්මන් ජයකොඩි මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අත්තනගල්ල ආසනය සඳහා එතුමිය විසින්ම පත් කරනු ලැබීය. නැවතත් 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විය. පිය උරුමයෙන් ලද මහජන සේවයට මවු උරුමයෙන් ලද නාට්‍ය හා සංස්කෘතික කලාවද එක් කරමින් දිවයින පුරා සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවන්නට ලක්ෂ්මන් ජය‍කොඩි මහතා පියවර ගත්තේය. වරෙක ඔහු නාට්‍ය රඟ දැක්වීමටද එක් විය. ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් තම සීයා වූ නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගේ නාට්‍ය අත්පොත් ගෙන, ඒවායේ සින්දු කියමින් විනෝද වූ අවස්ථා එමටය. වර්තමාන නෙළුම් පොකුණ රඟහල ලබා ගැනීම සඳහා හෙතෙම විශාල කැප කිරීමක් කළේය. කුඩා කලම සිටම පන්සල හා බැඳීම් තර කරමින් සෑම වෙහෙර විහාරස්ථාන ගණනාවකට උදවු උපකාර කළ ලක්ෂමන් ජයකොඩි මහතා ඒ නිසා ම රාමඤ්ඤ මහා නිකායේ නික්ෂරක්ෂණ සභාවේ සභාපතිවරයාද විය. පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපති උපදේශක තනතුරට පත් වූ හෙතෙම එම කාලය වන විට ප්‍රදේශයේ දුගීදුප්පත් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා 'ලක්ෂ්මන් ජයකොඩි පදනම' ආරම්භ කර ප්‍රදේශයේ අධ්‍යාපන අවශ්‍යතා හරහා එම අරමුදලින් උපකාර කළේය. ඔහුගේ පුත් පළාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි මැතිතුමා මේ කාර්යයන් ඉදිරියට ගෙන යමින් සිටී. ලක්ෂමන් ජයකොඩි මහතා නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුරට පත්ව සිටයේය. අගෝස්තු 30 වැනි දින මෙලොවින් සමුගන්නට දිනකට පෙර ඔහු මා සමඟ කියූ කරුණක් අදත් මගේ සිහියට නැ‍‍ඟේ. එනම්: තමා කිසි දිනෙක මිල මුදල් හම්බ නොකළ බවත්, තමා හම්බ කළේ මෙරට ජනතාව බවත්, එම නිසා ඉතා සතුටින් මිය යා හැකි බවත්ය. වත්මන් ජනාධිපති එවකට ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශෝක පණිවිඩයෙහි සඳහන් ව‍ූ කරුණක් අවසාන වශයෙන් මතක් කරනු කැමැත්තෙමි: එයින් කියවුණේ "මිල මුදලට බලයට යට නොවෙමින් පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටිමින් තම පක්ෂයටත්, එහි නායකත්වයටත්, බණ්ඩාරනායක පවුලටත් අවංකව ආදරය කළ මෙවන් මිනිසුන් යළි බිහි වේදැයි සැක සහිත" බවකි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴