විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් අතරින් ගෙඩි වෙදකමේ නිරතව සිටින්නේ සීමිත පිරිසකි. මන්ද යත් ගෙඩි වෙදකම යනු ඉතා අසීරු ප්‍රතිකාර ක්‍රමයකි. එමෙන්ම, එය නිසියාකාරව සිදු නොකළහොත් රෝගියා අනතුරට ලක්වීමේ අවදානම් තත්ත්වයක් පවතී. සෙම් ගෙඩි, කකුල්වල ඇති වන ගෙඩි ඇතුළු සිරුරේ ඇති වන ගෙඩි නිට්ටාවටම සුව කිරීමට මනා දක්ෂතාවක් දක්වන වෙද මහතකු ගල්ගමුව, උල්පතගම ප්‍රදේශයේ සිටින්නේය. සිය පරම්පරාවෙන් උරුම වූ ගෙඩි වෙදකම තුළින් ලබාගත් දැනුමෙන් ඔහු සිය ගණනකට ප්‍රතිකාර කර සුවපත් කර ඇත්තේය. ඔහු නමින් බණ්ඩාරනායක මුදියන්සේලාගේ රම්බණ්ඩා මහතාය. ගල්ගමුව, උල්පතගම පදිංචි ඔහු 79 හැවිරිදි පස් දරු පියෙකි. රම්බණ්ඩා මහතා වෙදකම් කටයුතු ඇරඹීමට පෙර ‍පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු ‍පොලිස් සැරයන්වරයකු ලෙස පිටකොටුව, කොටුව, රථ වාහන අංශය, මාතර, දිද්දෙණිය, ගාල්ල, වාරිය‍පොළ, ගිරිඹාව ඇතුළු ‍පොලිස් ස්ථාන රැසක සේවය කර ඇත. ‍පොලිස් සේවයෙන් අනතුරුව ඔහු සිය පරම්පරාවෙන් උරුම වූ පාරම්පරික ගෙඩි වෙදකම කිරීමට පටන් ගත්තේය. අපේ අප්පච්චිගේ මාමණ්ඩි තමයි මේ වෙදකම කරගෙන ගිහින් තියෙන්නේ. ඔහු තමයි අපේ අප්පච්චිට වෙදකම කියලා දීලා තියෙන්නේ. අම්මාත් අත්දැකීම්වලින් වෙදකම් කළා. ඊට පස්සේ අපේ නංගි වෙදකම කළා. නංගි වෙදකම නතර කළාට පස්සේ මම වෙදකම පටන් ගත්තා. පැරණි ‍පොත්පත් ආශ්‍රයෙන් තමයි මම මේ වෙදකම කරගෙන යන්නේ. මම මේ වෙදකම කරන්න පටන් අරගෙන අවුරුදු හතක් අටක් විතර ඇති. අපේ පරම්පරාවේ ගෙඩි වෙදකම සම්බන්ධව විශේෂ බෙහෙත් වර්ග රැසක් තිබෙනවා. එම වෙදකම සම්බන්ධව රහස් රැසක් තිබෙනවා. ඒ සියලු දේ උපයෝගී කරගනිමින් මම ප්‍රතිකාර කරනවා. යැයි රම්බණ්ඩා වෙද මහතා පවසන්නේය. මිනිස් සිරුරේ ගෙඩි වර්ග කීපයක්ම හැදෙනවා. වායු ගෙඩි හැදෙනවා. වායු ගෙඩියේ කැක්කුමක් නෑ. අල්ලන කොට එහාට දුවනවා. මෙහාට දුවනවා. විසර ගෙඩි එහෙම ‍නෙවෙයි කැක්කුමයි. කැක්කුම නවත්තලා තමයි ඒකට බෙහෙත් කරන්න ඕනේ. බාගෙට පැසවලා තියෙනවා නම් බෙහෙත් දාලා පුපුරවන්න ඕනේ. පුපුරවලා බෙහෙත් දානවා. එච්චරයි. තුවා‍ලේ තිබෙන සැරව ඒ බෙහෙතට අද්දවනවා. බෙහෙත් ජාති තුනක් යොදාගෙන මම දින තුනක් ප්‍රතිකාර කරනවා. පැසවලා නම් එය සුව වෙන්න බෙහෙත් දානවා. කකුල්වල දරුණු තත්ත්වයේ ගෙඩි තිබූ රෝගීන් රැසකට මම ප්‍රතිකාර කරලා තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙකුට වෛද්‍යවරු දැනුම්දී තිබුණේ කකුල් කැපීමට පවා සිදුවන බවයි. අසාධ්‍ය ලෙඩ්ඩු මම නතර කරගෙන ප්‍රතිකාර කටයුතු කරනවා. මම ඒ රෝගීන් දින කීපයකින් සුවපත් කරලා තිබෙනවා. කොපමණ තත්වයේ බරපතළ රෝගියෙක් වුණත් මට සුවපත් කරන්න පුළුවන්. යැයි රම්බණ්ඩා වෙද මහතා කියන්නේය. ඇතැම් ඌෂ්ණ ආහාරවලට ගෙඩි සෑදෙන බව රන්බණ්ඩා වෙද මහතා පවසන්නේය. හුඟක් දෙනකුට මේ ගෙඩි හැදෙන්නේ පිරිසිදුකම නැති නිසයි. හුඟ දෙනෙක්ගේ ගෙඩි හැදෙන්නේ අධෝමාර්ගය ආශ්‍රිතවයි. ගෙඩි හැදෙන්නේ ඌෂ්ණය නිසයි. මේ ගෙඩි හැදෙන්න වයස් භේදයක් නෑ. සමහරු ඉන්නවා මාස ගණන්, අවුරුදු ගණන් බඩ සුද්ද කරන්නේ නෑ. එහෙම හිටියාමත් එක එක ලෙඩ හැදෙනවා. සමහර කාන්තාවන්ට මාස් ශුද්ධිය නිසියාකාරව වෙන්නේ නෑ. මාස තුන හතරකින් මාස් ශුද්ධිය නොවූ විට දරුවෙකු ලැබෙන්න පරිද්දෙන් උදරය එනවා. එවැනි තත්ත්වයන්ටත් අප ප්‍රතිකාර ලබා දෙනවා. එවිට රුධිරය පිටවෙනවා. යැයි රන්බණ්ඩා වෙදමහතා කියන්නේය. මෙම ප්‍රතිකාර කටයුතුවලදී රෝගියා ගත යුතු ආහාර වට්ටෝරුවක්ද තිබේ. මාසයකට මම බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්නාට පස්සේ ගත යුතු ආහාර ලැයිස්තුවක්ද ලබාදෙනවා. කැකුළු බත්, මස්, මාළු, වට්ටක්කා ආදිය බෙහෙත් භාවිත කරන කාලයේදී කන්න හොඳ නෑ. ඒ වගේම ස්නානය කරද්දී උණු වතුර නාලා ඊට පස්සේ තමයි ඇල් වතුර නාන්නේ. යැයිද වෙද මහතා පවසන්නේය.   සෙම්ගෙඩි හැදෙන්නේ සෙමට. සෙම නිසා තමයි එය හැදෙන්නේ. සෙම්ගෙඩි තියෙනවා නම් මම ඒවාත් සුව කරනවා. ආයේ ජීවිතේට හැදෙන්නේ නෑ. එහිදී කෙරෙන්නේ සෙම් ගෙඩිය කඩලා ‍ලේ ටික ඉවත් කිරීමයි. මම ළඟ විශේෂිත බෙහෙත් තෙල් තිබෙනවා. බෙහෙත් තෙල්වලට ‍පොල්කිරි ටිකක් මිශ්‍ර කරලා, ඇඟිල්‍ලේ පටලන ලද රෙදි කැබැල්ලකට බෙහෙත් තෙල් මිශ්‍ර කරලා සෙම් ගෙඩිය කඩනවා. පැය හතයි, විනාඩි හතයි, තත්පර හතක් ඇතුළතදී මේ ප්‍රතිකර්ම සිදුකළ යුතුයි. ඒ කියන්නේ ඒ කාලය ඇතුළතදී සෙම ඇරලා රෝගියාට කතා කරන්න පුළුවන් තත්ත්වයට පත් කළ යුතුයි. නැත්නම් රෝගියා මිය යන්න තිබෙන ඉඩකඩ වැඩියි. යැයිද ඔහු පවසන්නේය. රම්බණ්ඩා වෙද මහතා පවසන පරිදි සෙම්ගෙඩි කැඩීමේ කටයුතු ‍පොහොය දිනවලදී සිදු නොකරන්නේය. මේ කටයුතුවලට බෙහෙත් ඕනෑ තරම් ගමෙන් හොයා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් බෙහෙත් වර්ග අඳුරන්නේ නෑ. පිට පළාත්වලින් එන අයට මම බෙහෙත් හොයලා දෙනවා. මම බෙහෙත් වර්ග ගොඩාක් හදලයි තියෙන්නේ. සාමාන්‍යයෙන් සකසා ගන්න පුළුවන් බෙහෙත් වර්ග රෝගීන් සමඟ එන අයටම දෙනවා හදාගන්න කියලා. යැයි රම්බණ්ඩා වෙද මහතා පවසන්නේය. රම්බණ්ඩා වෙද මහතා පවසන පරිදි පාරම්පරික වෙදකමට අනුව රෝගීන්ගෙන් මුදල් බලා‍පොරොත්තුවෙන් වෙදකම නොකළ යුතුය. අපේ පරම්පරාවේ සියලු දෙනාම මේ ප්‍රතිකාර කටයුතු කරන්නේ මුදල් හදල් බලාගෙන නොවෙයි. සතයක් වත් නැතිව බුලත් අතක් රෝගියා දුන්නත් එය භාරගත යුතුයි. එයයි පාරම්පරික වෙදකම තුළින් අපිට කියලා දීලා තිබෙන්නේ. ගණන් කිව්වොත් ඒ වෙදකම හරියන්නේ නෑ. යැයි වෙද මහතා වැඩිදුරටත් කියා සිටියේය. ගල්ගමුවට පැමිණි පසු කිලෝමීටර් තුනක් පමණ දුරක් උල්පතගම ගම්මානය ඇත.

Comments