ගුනදායක ඕට්ස් රෙසිපි 7ක්෴

ඔන්න අපේ ඕට්ස් ගැන කියවුන ලිපියෙන් අපි ඔබට පෙන්නුවා මේ ධාන්‍ය වර්ගය කොතරම් ගුණ දෙන ආහාරයක්ද කියල. ඔන්න ඔබේ ඉල්ලීම් සලකලා අපි රෙසිපි කීපෙකුත් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා. පවුලේ පෝෂණය, නිරෝගීකම හැමවිටම හිතන අපි මේ රෙසිපි අත්හදා බලමු. විදේශීය ධාන්‍ය වර්ගයක් වුනත් දේශීය අපේ රුචියට ගැලපෙන අන්දමේ රෙසිපි කීපයකුත් අපට ලැබුනා. ඕට්ස් වර්ග දෙකක් තියෙන බව ඔබ දන්නවා. ඒ Instant Oats (ක්ෂණික ඕට්ස්) සහ Cooking Oats (උයන ඕට්ස්) ලෙසින්. මේ දෙකේ වෙනස තමයි ක්ෂණික ඕට්ස් ලිපේ තියලා පිසින්නේ නැතුව උණු වතුරින් හදා ගන්න පුළුවන්. උයන ඕට්ස් ලිපේ තබා හොඳින් පිස ගත යුතුමයි. 01) ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක විනාඩි කීපෙකින් හදාගන්න පුළුවන් ගුණවත් උදේ ආහාරයක්. ඒ වගේම හවසට පොඩි බඩගින්නක් ආවහම මහත් නොවී ගුණ ස්නැක් එකක් ලෙසත් අපූරුයි. මේක හදන්න විනාඩි කීපයයි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: උණු කිරි වීදුරු 1 යි ඕට්ස් ඇති පමණ රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ) පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී) සාදන ක්‍රමය: උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර කරන්න. උකු තලපයක් බවට පත් වේවි. ඉන් පසු එයට සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කර ගන්න. පලතුරු කුඩා කැබලි වලට කපා එයටම එක් කරන්න. විනාඩි දෙකකින් රසවත් අංග සම්පූර්ණ ආහාරයක් සූදානම්. 2) ඕට්ස් ඔම්ලට් එකක් බඩගිනියි, හැබැයි පැණි රස සහ කිරි රහ හරියන්නේ නැහැ. වෙලාවකුත් නැහැ වෙන දෙයක් හදන්න. අන්න ඒ වගේ වෙලාවට විනාඩි 5 ක් යද්දී ගුණවත් ආහාරයක් හදා ගමු. අවශ්‍ය ද්‍රව්‍ය: නටන ජලය කෝප්ප 1 ක් ඕට්ස් අවශ්‍ය පමණ ලුණු බිත්තර 2 ක් හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි කපන ලද අමු මිරිස් කරල් 3 යි අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි සාදන ක්‍රමය: නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න. පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්. 03) ඕට්ස් වලින් පෑන් කේක් මේක නම් ගොඩක් රසයි. හදන්නත් ලේසියි. උදේ ආහාරයට නියමයි. අවශ්‍ය ද්‍රව්‍ය: ඕට්ස් කප් 1 යි පාන් පිටි කප් 1 යි බේකින් පවුඩර් හැඳි 1 යි බටර් ස්වල්පයක් බිත්තර 2 ක් උණු කිරි කෝප්ප 1 යි සාදන ක්‍රමය: ඕට්ස් කප් එකට උණු කිරි කෝප්පය දමා විනාඩි කීපයක් වසා තබන්න. එයට පාන් පිටි සහ බේකින් පවුඩර් තේ හැන්ද බැගින් එක් කරන්න. කැටි ඉතුරු නොවෙන විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. එයටම වැනිලා තේ හැන්දක්, බටර් ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු හොඳින් ගසා ගත් බිත්තර දෙක මේ මිශ්‍රණයට එකතු කර නැවත වරක් හොඳින් ගසා ගන්න. රෙදි කඩකින් හෝ පියනකින් වසා පැය භාගයක් තිබෙන්න හරින්න. බැටර් එක තද වැඩියි වගේ නම් තව උණු වතුර මිශ්‍ර කරලා හැඳි ගා ගන්න. දැන් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් බිදු කීපයක් දමන්න. කපු රෙදි කඩකින් පෑන් එක පිස දමන්න. සාමන්‍ය පෑන් කේක් හදන විදිහටම බැටර් එක හැන්දෙන් එකක් අරගෙන පෑන් එකට දමා දෙපැත්ත දමමින් හදා ගන්න. පැණි, ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සමග ආහාරයට ගත හැක. 04) ඕට්ස් පිට්ටු මේ ක්‍රමය අපිට එවුවේ FB එකේ ඉවුම් පිහුම් සමූහයේ ගංගා මානනායක මහත්මිය විසින්. ගුරුතුමියක් වුන ඇය දේශීය ක්‍රමයට ඕට්ස් වලින් ආහාර වර්ග අත්හදා බලනවා එහි ඇති ගුණ නිසාම. මේ තමයි ඇය පිට්ටු හදන ක්‍රමය. අවශ්‍ය ද්‍රව්‍ය: ඔට්ස් කප් 2 ක් ගා ගත් පොල් කප් 1 ක් ග්‍රේට් කළ කැරට් අලයක් ලියා ගත් බීලූනු ගෙඩියක් අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා ගොටු කොළ හෝ තියෙන පලා වර්ගයක් හීනියට ලියා ගෙන මිටක් විතර ලුණු, ගම්මිරිස් සාදන ක්‍රමය: මේ සියළු දේවල් එකට මිශ්‍ර කරන්න. වතුර ඉතාම ස්වල්පයක් ඉහලා ලුණු, ගම්මිරිස් ඇති පමණ දමා පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න. සාමාන්‍ය පිට්ටු වලට වඩා වැඩි වෙලාවක් තැම්බෙන්න අරින්න. මස්, මාළු කරියක් එහෙම නැත්නම් පරිප්පු , අල වගේ හොද්දක් එක්ක උනත් හරිම රසයි. උදේට වගේම රෑ කෑමටත් හොඳයි. 05) ඕට්ස් රොටි අවශ්‍ය ද්‍රව්‍ය : ඔට්ස් කප් 2 යි පාන් පිටි කප් 1යි ගා ගත් පොල් කප් 2 යි ලියාගත් බී ළූණු අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා ලුණු සාදන ක්‍රමය: ඕට්ස් ධාන්‍ය වර්ගය පාන් පිටි සමග හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු උණු වතුර දමමින් රොටී අනන ආකාරයට අනා ගන්න. ඉතුරු කළමනා එකතු කරන්න. අවශ්‍ය පමණ ලුණු මිශ්‍ර කරන්න. ඉන් පසු බෝල හදා පැය භාගයක් පමණ තිබෙන්නට හරින්න. අත් දෙකේ තෙල් ආලේප කර ගෙන තෙල් ගාගත් ලෑල්ලක හොඳින් වඩා ගන්න. ඉන් පසු රත් වුන කබලක දමා දෙපැත්ත දමමින් සාමාන්‍ය ආකාරයට රොටී හදා ගන්න. 6) ඕට්ස් සහ කුරක්කන් කැඳ ඔබට උදේ හෝ රාත්‍රී ආහාරයක් ලෙස මේ ඉතාම ගුණ කැඳ වර්ගය හදා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඕට්ස් කෝප්ප භාගයක්, කුරක්කන් කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්පයක්, ජලය සහ ලුණු ස්වල්පයක් පමණයි. ඕට්ස් සහ කුරක්කන් වතුරෙන් හොඳින් තම්බා ගන්න. ඉන් පසු එම මිශ්‍රණයට පොල් කිරි සහ පදමට ලුණු දමා ලිපේ තබාගෙන හැඳි ගාන්න. රසම රස කැඳක් ලැබේවි. 7) ඕට්ස් වලින් අතුරුපස – ඕට්ස් කුකීස් පොඩ්ඩන්ට හවසට තේ බොද්දි කන්න නම් අපූරු ගුණදායක බිස්කට් එකක් මේක. හදන්නත් ලේසියි. අවශ්‍ය ද්‍රව්‍ය: බටර් කෝප්ප භාගයයි දුමුරු සීනි කෝප්ප තුන් කාලක් පිටි වෙන්න කුඩු කර ගත් සාමාන්‍ය සීනි කෝප්ප භාගයයි බිත්තර 2 ක් වැනිලා තේ හැඳි 1 යි හලාගත් පාන් පිටි කෝප්ප එක හමාරයි ආප්ප සෝඩා ( බේකින් සෝඩා) තේ හැඳි 1 යි කුරුඳු කුඩු තේ හැඳි 1 යි ඕට්ස් කෝප්ප 3 යි වියලි මිදී කෝප්ප 1 ය සාදන ක්‍රමය: පළමුව අවන් එක සෙල්සියස් අංශක 170 ට පමණ preheat කර ගන්න. ඕට්ස් සහ වියලි මිදී හැර අනෙක් සියලු කළමනා ලොකු බෝල් එකකට දමා හොඳින් විදුලි මික්ෂර් එකකින් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ඕට්ස් කෝප්ප තුන සහ වියලි මිදී දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් වේවි. බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා ගන්න. මිශ්‍රණයෙන් බෝල හදා ඈතින් ඈත බේකින් ට්‍රේ එකේ තියන්න. සාමාන්‍යයෙන් කුකීස් බේක් කරන විදිහටම කරන්න. විනාඩි 20 පමණ අවන් එකේ තියල එලියට ගන්න. නිමුනහම භාජනෙක අසුරලා පොඩ්ඩන්ට තේ බොන්න පාවිච්චි කරන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴